Sunday, May 3, 2020

Written on

ශ්‍රීලංකන් සේවකයන් 400ක් වැටුප් නැතිව මාස තුනක් නිවාඩු යවලා

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු අඩපණ වීම හේතුවෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු ලබා දී තිබේ.

ඒ අනුව මැයි,ජූනි සහ ජූලි යන මාස තුනම එම සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ගන්වා ඇත.

පසුගිය 24 වැනි දින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ පාලනාධිකාරිය විසින් ආයතන පරිශ්‍රයේ පැවති  රැස්ව්මේදී මෙම තීරණයට එළඹ තිබේ.


මෙහෙයුම් අඩපණ වීම නිසා මූල්‍ය තත්ත්වය පිරිහීමෙන් මෙවැනි තත්ත්වයකට පත්ව ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම  විසින් එම රැස්වීමේ තීන්දු ප්‍රකාශයට පත්කරමින් යොමුකර තිබෙන දැනුවත් කිරීමේ ලිපියේ සඳහන් වන්නේ.

ඉදිරි මාස තුනක කාලය සඳහා ආයතනය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75 අවශ්‍ය බවද සභාපතිවරයා එම රැස්වීමේදී කරුණු දක්වා ඇත.

ඒ අනුව එම රැස්වීමේදී ගත්  තීරණ වෘත්තීය සමිති වෙත දැනුම් දෙමින් පෙන්වා දී තිබෙන්නේ සියලුම බඳවා ගැනීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.
අභ්‍යන්තර සේවක පුරප්පාඩු සඳහා පත්කිරීම් ද නැවත දැනුම් දෙන තුරු නවතා දමා තිබේ. එමෙන්ම සියලුම සේවා උසස් කිරීම්ද අත්හිටුවීමට තීරණය කර ඇත.
සේවා සපයන්නන් 658 දෙනාගෙන් පසුගිය අප්‍රේල් 15 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා සේවයට කැඳවා ඇත්තේ 132 කු පමණි.

වැඩිදුරටත් කරුණු දක්වමින් සභාපතිවරයා පවසා තිබෙන්නේ ආයතනයේ පැවැත්ම සඳහා සියලු දෙනාගේම සහය අවශ්‍ය බවයි. මේ අතර කළමනාකරණ මට්ටමේ සේවකයන් ද අඩු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද සභාපතිවරයා කියා තිබේ.

කිසිවෙකුගේ හෝ රැකියා අවධානමක් ඇති වීමට හෝ රැකියාවලින් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට රජය අවධාරණය කර ඇති පසුබිමක ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙවන් තීන්දුවලට පැමිණ තිබීම විශේෂ අවධානයට ලක්විය යුතුව ඇත.

More News