Friday, May 8, 2020

Written on

ගුවන් හමුදාවේ යානා අලුත්වැවියා කිරීමට යුක්‍රේන ඉංජිනේරුවෝ පැමිණෙති


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සදහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනකු අද (08) අලුයම යුක්‍රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් යූක්‍රේනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. මෙම ඉංජිනේරුවරුන් පමණක් මෙම ගුවන් යානයේ පැමිණ තිබූ අතර , ඔවුන් යූක්‍රේනයේ කියෙව් නුවර සිට පැමිණි පී.කිව්.- 5903 දරන යූක්‍රේනයට අයත් ස්කයි අප් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාළය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Design Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

මෙම කොරෝනා වසංගත රෝග තත්වය පිළිබඳව මෙම ඉංජිනේරුවරුන් එරට දී ද නීරෝධායනයට ලක් වී , ඒ පිළිබඳව සහතික ද රැගෙන පැමිණ තිබූ අතර , ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , යළිත් මෙරට නීරෝධායන කටයුතු සදහා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලය වෙත යොමු කළ බවද ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම නීරෝධායන කටයුතු නිමා වීමෙන් පසුව , මෙම ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා පරීක්ෂා කිරීම සිදු කරන අතර , පසුව ඔවුන්ගේ නිර්දේශ මත , ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් විසින් මෙම ගුවන් යානා 03 සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සදහා යූක්‍රේනය වෙත රැගෙන යෑම සිදු කරන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 මෙම ගුවන් යානා ඉංජිනේරුවරුන් රැගෙන පැමිණි යූක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවයේ පී.කිව්.- 5904 දරන ගුවන් යානය , ශ්‍රී ලංකාවේ රැදී සිටි , මෙම වසංගත රෝග තත්වය නිසා යූක්‍රේනය වෙත යෑමට නොහැකිව සිටි යූක්‍රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙන අද (08) දින අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් , යූක්‍රේනයේ කියෙව් නුවර බලා පිටත්ව ගියේය.

More News