Friday, May 1, 2020

Written on

රම්බරි ගීතයෙන් කියවෙන්නේ කොරෝනා ගැනද?

ළහිරු පෙරේරා විසින් ගායනා කරනු ලබන ‘රම්බරි කියපන් උඹෙ නොම්බරේ’ ගීතය ඔබ සියළු දෙනාම ජීවිතයේ එක්වරක් හෝ අසා ඇතිවාට සැක නැත. මනුරංග විජේසේකර විසින් රචනා කර ඇති මේ ගීතය ඔබ විනෝද චාරිකා යද්දී, සාදවලදී නිතරම ගායනා කරනවාද වන්නට ඇත.

නමුත් මෙම ගීතයෙන් කියැවෙන්නේ කොරෝනා වසංගත තත්වය නිසා මෙරට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව බව ඔබ දැන සිටියා ද ? මීට වසර දහයකටත් වඩා ඈත අතීතයකදී ලියැවුණු මෙම ගීතයෙන් 2020 වසරේදී කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවෙ ඇතිවන තත්‍වය පුරෝකතනය කර ඇති ආකාරය විශ්මයජනකය. විශ්වාස කිරීමට අපහසුය. නමුත් එහි සෑම පදපේළියක්ම නැවත නැවතත් අපට පෙන්වා දෙන්නේ වර්ථමානයේ මෙරට පවතින තත්වයයි. එමනිසා මෙය ගීත රචකයා අනාගතය දැක රචනා කළ ගීතයක්ය යන මතය කිසිවෙකුටත් බැහැර කළ නොහැකි ය. මේ ඒ පිළිබඳව කෙටි විමසා බැලීමකි.

“රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කව්ද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ…”


ගීතය ආරම්භ වන්නේම තරුණයෙකු විසින් තරුණියකගේ නම්බරය ඉල්ලන සිදුවීමකිනි. මෙහිදී තරුණයා ඉල්ලන්නේ දුරකථන අංකය බව බොහෝ දෙනා සිතුවත්, සැබැවින්ම ඔහු ඉල්ලන්නේ ඇයගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයයි. මක්නිසාද යත් රජය විසින් හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙසින් බැහැර වීමට අවසර ලබාදී තිබීම හේතුවෙනි. අනාගතය දුටු ගීත රචයකා ඉතා ඈත අතීතයකදී පවා එම සිදුවීම පුරෝකතනය කර තිබෙන ආකාරය විශ්මයජනකය.

මෙහි දෙවැනි පේළියෙන් කියැවෙන්නේ තන්දුරි චිකන් කෑම සම්බන්ධ සිදුවීමකි. ඇඳිරිනීතිය නිසා නිවෙස් තුළ කොටුවී කොස්, බස්, රොටී වැනි ඒකාකාරී ආහාර රටාවකට හුරුවී සිටි මෙරට ජනයා නිවෙසින් බැහැර යාමට අවසර ලැබීමත් සමඟ විවිධාකාර ආහාර වර්ග කෑමට දක්වන රුචිකත්වය මෙයින් සනාථ වේ. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් අම්පාර ප්‍රදේශයේ ගැවසී ඇති බව සනාථ වූ නිසා අම්පාර ප්‍රදේශයේ ගම්මාන හතරක් හුදෙකලා කිරීමට රජය පසුගිය දා තීරණය කර තිබුණි. ‘අම්පාරෙ මල්ලි නිදිද කාමරේ’ යන කොටසින් සංකේතවත් වන්නේ මෙම සිදුවීමයි. කෙසෙවෙතත් වාකරේ ප්‍රදේශය ගැන සඳහන් කෙරෙන්නේ කුමක් නිසාද යන්න තවමත් අනුමාන කිරීමට අපට හැකියාවක් නැත. බොහෝවිට ඒ ඉදිරි දිනවලදී සිදුවීමට නියමිත සිදුවීමක් පිළිබඳව පුරෝකතනයක් විය හැකියි.

“ජම්බෝලෙ වගේ ඉන්න සෝබනා
සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාමා ඇවිත් මහ කුණා
ගස්පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා…”


‘ජම්බෝලෙ වගේ ඉන්න සෝබනා’ යන කොටසින් අදහස් කෙරෙන්නේ නිවෙස් තුළටම වී වැඩක් පොළක් නොකර කකා බිබී හිඳීම නිසා මෙරට බොහෝ තරුණියන් ජම්බෝල මෙන් ස්ථූලභාවයට පත්වීමේ අවධානම පිළිබඳව ය. ඊළඟ පද පෙළින් අදහස් වන්නේ ආහාර ද්‍රව්‍ය හිඟතාවය නිසා සම්බෝල, පරිප්පු වැනි දෑ නිතරම ආහාරයට ගැනීමට මෙරට ජනතාවට සිදුව තිබෙන තත්වයයි.

ඇඳිරිනීතිය පැනවීමට පෙර දංගොල්ල වැනි දුරබැහැර ප්‍රදේශවල සිට නෑදෑයන් බැලීමට පැමිණි පුද්ගලයින් මේ වන විට නැවත සිය ගම්බිම් කරා යාමට නොහැකිව නෑදෑ නිවෙස් තුළ සිරවී සිටීම මීළඟ පදපෙළින් අදහස් වනවා. ‘ගස්පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා යන්නෙන්’ පෙන්වා දෙන්නේ මත්පැන්හල් වසා දැමීමට රජය තීරණය කිරීමත් සමඟ රා, කසිප්පු වැනි දේශිය නිෂ්පාදන පරිභෝජනයට මෙරට ජනතාව පෙළඹී තිබීමයි.

“කණ්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ
කව්ද මේක භාරගන්නෙ අන්තිමේ
ලොරිභාගේ මට දුන්නත් හුටපටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ…”


ඇත්තෙන්ම පෞද්ගලිකව මගේ අදහස වන්නේ මෙම කොටස පිළිබඳව සාකච්ඡා කිරීම එතරම් සුභදායී නොවන බවයි. ‘කණ්ණාඩි දැම්මත් නෑ හැඩවැඩේ’ සහ ‘මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ’ වැනි යෙදුම්වලින් අපට පැහැදිලි වන්නේ මෙම කොටසින් අදහස් කර ඇත්තේ වර්ථමාන සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පිළිබඳව බවයි. එම නිසා අපි ඒ කොටස ගැන කතානොකර හිඳිමු. කෙසේවෙතත් ‘කවුද මේක භාරගන්නෙ අන්තිමේ’ යනුවෙන් දක්වා ඇත්තේ පසුගිය දිනෙක ‘ආණ්ඩුව පුළුවන් හැමදේම කළා, එවුනාට ජනතාව පරිස්සම් උන්නෑ’ යනුවෙන් පවසා එතුමිය වගකීමෙන් ගැලවීමට ගත් උත්සාහය පිළිබඳව විය හැකියි.

“හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිඳු කියමු රංජනා
ලොරිභාගේ රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාටා කමු ළං වෙලා…”


මෙම කොටසින් ගීත රචකයා ඉදිරිපත් කර ඇත්තේ මෙරට මධ්‍යම පාන්තික තරුණ ප්‍රජාව කෙරෙහි වන විවේචනයකි. විදෙස් රටවල තරුණ ප්‍රජාව කොරොනා වෛරසය පැරදවීමට නව මං සොයද්දී, වෛරසයෙන් තොර ලොවක් පිළිබඳව සිහින දකිද්දී මෙරට මධ්‍යම පාන්තික තරුණ පරම්පරාව දකින්නේ කොරෝනා වෛරසය නිම වීමෙන් අනතුරුව රට වටේ රවුමක් යාම, කොත්තුවක් පරාටයක් කෑම වැනි සිල්ලර සිහිනය. ගීත රචකයා උත්සහ දරා ඇත්තේ මෙම තත්වය උපහාසයට ලක්කිරීමටයි.

“සෙල්ලම්වලින් රට හොල්ලපු ලොකු සිරා
ඇතුළෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහාගෙදර මැගි අක්කට හරි හිනා
මටනම් නෑ දිරවන්නේ ඔය කතා…”


කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ බන්ධනාගාර තුළ සිටින රැදවියන්‍ වෛරස් ආසාධනයට ලක්වීමේ අවධානමක් මතුවීම නිසා, සුළු වැරදිවලට හසුවී බන්ධනාගාර තුළ සිරවී සිටින රැදවියන්ව ඇප මත මුදාහැරීමට රජය පියවර ගත් අයුරු ඔබට මතකද ? සෙල්ලම්වලින් රට හොල්ලපු ලොකු සිරා නමැති මැරවරයා බන්ධනාගාරයේ සිට නිදහස්වී පැමිණි බව සඳහන් කිරීමෙන් රචකයා පෙන්වා දී ඇත්තේ රජය ගත් මෙම පියවරයි. ගීතයේ ඊළඟ කොටසෙහි ‘එහා ගෙදර මැගි අක්කට හරි හිනා’ යනුවෙන් සඳහන් කර ඇතත් ඇය සිනහවන්නේ කුමක් නිසාදැයි යන්න සඳහන් කර නැත. එසේ නමුත් අපට අනුමාන කළ හැක්කේ රජය විසින් ලබාදුන් රුපියල් පන්දහස ලැබීම නිසා මැගි අක්කාගේ මුවඟට සිනාවක් පැමිණ ඇති බවයි.

“මුරලි දැම්මා දුස්රා හොඳට අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජෝන් සීනා කාලා හොඳට පෙරේදා
ඒත් වහළෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා…”


ගීතයේ මෙම කොටසේ සඳහන් කර ඇත්තේ ක්‍රිකට් සහ රෙස්ලිං යන ක්‍රීඩාවන් පිළිබඳවයි. කොරෝනා වෛරසය නිසා ලොව පුරා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරග සියල්ලම පාහේ අහෝසි වී ගිය බව අපි දනිමු. මේ නිසා මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පත්වූයේ දැඩි අපහසුතාවයකටය. මීට පිළියමක් ලෙස ඔවුන් දැන් සිදුකරන්නේ පැරණි ජයග්‍රාහී ක්‍රිකට් තරගවල හයිලයිට්ස් නැරඹීමය. එහිදී ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ මුරලි, සනත් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ පැරණි ක්‍රිකට් තරග නැරඹීමටය. කෙසේවෙතත් ක්‍රිකට්වලට වැඩි කැමැත්තක් නොදක්වන සමහර තරුණයන් මේ දිනවල සිදුකරන්නේ රෙස්ලිං සීඩී සොයාගෙන රෙස්ලිං තරග නැරඹීමයි. ඉතින් මෙහිදී රචකයා පුරෝකතනය කර ඇත්තේ මෙම තත්වය පිළිබඳවය. වහලෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා යන කොටසින් අදහස් කර ඇත්තේ මේ දිනවල කොරෝනා තත්වය මැද ඇදහැලෙමින් පවතින ගිගුරුම් සහිත වර්ෂාව පිළිබඳව විය යුතුය.

“එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රසකතා
පාන් භාගෙ කපලා ගන්න
ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගී එන්න නංගි හැඩ දමා
එළිවෙනකම් සින්දු කියමු රොක්වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා…”


අවසාන වශයෙන් මෙහිදී රචකයා දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාව කොරෝනා වෛරසය අවසාන වීමෙන් පසුව හැසිරෙන ආකාරයයි. ඔහුට අනුව වෛරසය තුරෙන් කිරීමෙන් පසු මෙරට ජනතාව පාරවල් පුරා ප්‍රීති ගෝෂා පවත්වමින්, කිරිබත් උයමින්, සීනිසම්බල සමඟ පාන්, තේ ආදී දන්සැල් දෙමින් තම සතුට සමරනු ඇත. මීට අමතරව එළිවෙනකම් සින්දු කියමු රොක්වෙලා යනුවෙන් දක්වා ඇත්තේ මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘නැගිටිමු ශ්‍රී ලංකා’ ගීතය පිළිබඳව විය හැකිය.



මේ අනුව අපට ඉතාමත් පැහැදිලිව පෙනී යන්නේ ගීත රචකයා අනාගතය දැක, අනාගතයේදී කොරොනා වෛරසය නිසා මෙරට සිදුවන සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස්කම් පිළිබඳව පුරෝකතනය කරමින් මෙම ගීතය රචනා කර ඇති බවයි. මෙතෙක් කල් මෙම ගීතය කිසිදු අර්ථයක් නොමැති ගීතයක් ලෙස අපට දැනුනේ අප මේ වන තුරු මෙම අත්දැකීම්වලට මුහුණ නොදීම නිසාවෙනි. නමුත් දැන් මෙය ඉතාමත් අර්ථවත් ගීතයක් බවත්, විශ්වාස කළ නොහැකි තරම් අරුම පුදුම ගීතයක් බවත් අප දනිමු. එමනිසා ‘රම්බරි’ ගීතය තුන්කල් දුටු ගීතයක් ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි සිතමි.

More News