Saturday, May 9, 2020

Written on

🔥 මැ.කො.ත් ඉල්ලා අස්වෙයිද?

විදෙස්ගතව සිටි සිය පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිය තනතුරේ බලය අවභාවිතා කරමින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ රජයේ නිලධාරීන් සමඟ සහ නෙදර්ලන්ත තානාපතිවරයා සමඟ ගනුදෙනු කළ බවට එල්ල වී ඇති තදබල චෝදනාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කරයි.

රට තුළ රාජ්‍ය නිලධාරියකු වශයෙන් මහත් ජනප්‍රියත්වයක් ඉසිළූ ඒ මහතා සමාජ මාධ්‍ය තුළ වැඩිම ජනප්‍රියත්වයක් හිමි කරගත් රාජ්‍ය නිලධාරියා වශයෙන් ද හැඳින්විය හැකිය.

සියල්ලන්ගේම පිළිගැනීම වී තිබුණේ මහින්ද දේශප්‍රිය යනු කිසිදු දේශපාලනඥයකු හමුවේ නොසැළෙන, ඩීල් නොදාන, සෘජු, අවංක නිලධාරී මහත්මයකු වශයෙනි. එහෙත් ඔහු සිය පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා සමඟ දුරකථන සබඳතා පැවැත්වූ බවත් මෙකී චෝදනාව එල්ල වීමෙන් පසු ජනාධිපතිවරයා සමඟ ද දුරකථන සංවාදයක් පැවැත්වූ බවත් අනාවරණය වීමෙන් අනතුරුව මෙකී ප්‍රතිරූපයට දැඩි ලෙස හානි සිදුව තිබේ.

පියෙකු වශයෙන් සිය දරුවා සම්බන්ධ සංවේදී කාරණයකදී දැක්වූ හැසිරීමක් වශයෙන් කොටසක් මෙය හැඳින්වුව ද මහින්ද දේශප්‍රිය මහතාගේ දරුවා යනු කුඩා දරුවෙකු නොව ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන ඉංජිනේරුවකු වීමත් ඔහු සමඟ තවත් සිය ගණනක පිරිසක් එදින ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් සියලු දෙනාම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සෘජුව මැදිහත්වීමක් කළ බවක් අසන්නට නොමැති වීමත් මත මෙය මහින්ද දේශප්‍රිය මහතා සිය තනතුර අවභාවිතා කිරීමක් වශයෙන් පෙන්වා දීමට හැකි බවට තර්ක කරන විශාල පිරිසක් ද වේ.

මේ සිද්ධිය මතුවූයේ කල් දමන ලද මහමැතිවරණය මැයි මාසයේදීම පැවැත්වීම සඳහා දින නියම කිරීමට උත්සාහ කිරීම, එය නොහැකි වූ විට ගැසට් නිවේදනයට පිටින් ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම, ජුනි 20 වනදා යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය වීම යනාදී චෝදනා වැලක් ද මහින්ද දේශප්‍රිය මහතාට හතර වටින් එල්ල වෙමින් පැවති පසුබිමකය.

කොමිසම තුළ ඔහුගේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් කොමිසමේ සාමාජිකයින් වෙතින්ම බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබිණි.

එවන් දැඩි පීඩාකාරී වාතාවරණයක් තුළ මතුවූ අලුත් ප්‍රශ්නය හමුවේ තමන් සතුව පෙර පැවති විශ්වාසයෙන් යුතුව රටට මුහුණ දීමට ඒ මහතාට හැකියාවක් නොමැති වී ඇති බව සමීප ආරංචිමාර්ග සඳහන් කරන අතර ඒ මහතා මේ දිනවල දුරකථනයට හෝ ප්‍රතිචාර දැක්වීම ද ඉතාම සීමිත මට්ටමක පවතින බවත් වාර්තා විය.

තත්වය වර්ධනය වන ස්වභාවය අනුව ස්වාධීන මැතිවරණ කොමිසමේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් සිය නිරවද්‍යභාවය ඔප්පු කිරීමේ පියවරක් වශයෙනුත් අද හෝ හෙටම මැතිවරණ කොමිසමේ සභාපති තනතුරෙන් ඉවත් වීමට ඒ මහතා ක්‍රියා කිරීමට ඉඩ ඇති බවයි නිල නොලත් සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැයි 11 වනදාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද රැස්වීමට නියමිතව තිබේ.

More News