Tuesday, May 5, 2020

Written on

කොරෝනාවට මේ වසර අග වන විට එන්නතක්!

කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000කට ආසන්න පිරිසක් මරණයට පත්වනු ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

මේ වසර අවසානය වනවිට නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි නව එන්නත් නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සමඟ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (4) ඒ බව පැවැසීය.

ජනවාරි 23 වැනිදා සිය නිලධාරීන් තමන්ට වයිරසයක් පිළිබඳ තොරතුරු දැනුම් දුන්න ද එය මෙතරම් බරපතළ වනු ඇතැයි ඔවුන් දැනුම් නොදුන් බව ද ජනාධිපතිවරයා මෙහිදි අනාවරණය කළේය.


එහෙත් ඇමෙරිකානු බලධාරීන් වසංගතයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඔහු එය ගණනකට නොගත් බව ඇමෙරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.


වසර අගදී එන්නතක් නිෂ්පාදනය කිරීම හැකියාව ලැබෙනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් සොයාගැනීමට තවත් මාස 18කට ආසන්න කාලයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.


‘‘අපිට හැත්තෑ පන්දහසක් අසූදහසක් එහෙම නැතිනම් ලක්ෂයක් අහිමි වේවි. 100,000ක් මරණයට පත්වෙන්න පුළුවන්. එය මහා බයංකාර දෙයක්’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.


මීට පෙර සතියකදී 60,000ත් 70,000ත් අතර පිරිසක් කොරෝනා වයිරසයෙන් මියයනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.


ඇමෙරිකානු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර ප්‍රකාශ සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

More News