Friday, April 24, 2020

Written on

මුලදී PCR පරීක්ෂණ කෙරුණේ ඉතාම අඩුවෙන්. නමුත් ඊයේ 1142ක උපරිමයට ළඟාවුණා - අනිල් ජාසිංහ

මුලදී මෙරට තුළ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකෙරුනේ ඉතාම අඩු සංඛ්‍යාවක් වුවත් ඊයේ දිනයේදී පරීක්ෂණ 1142ක් සිදුකරමින් උපරිම අගය වාර්තා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

"දැන් මේ ආසාදිතයින් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වැඩියෙන් හසුවීමත් ඒවගේම නාවික ඛණ්ඩයෙන් වැලිසර 30 දෙනෙක් වාර්තා වීමත් තුළ හැමෝම තුළ යම්කිසි කුකුසක් ඇතිවෙනවා. කෙසේවෙතත් තවම ගත්තාම මේ ලැබෙන සංඛ්‍යා ප්‍රමාණයෙන් වැඩිවුණත් ඒ සියල්ලේ සම්බන්ධතා අපට තවමත් හෙළිදරව් වෙනවා.

ඒවගේම අනිත් අතින් අපි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මෙම පරීක්ෂණ ප්‍රමාණය ඊයේ - අපි ගන්නෙ සාමාන්‍යයෙන් හවස 5 සිට ඊළඟ දිනයේ හවස 5ට - කරපු සංඛ්‍යාව 1142ක්. ඒ කියන්නෙ අපේ වාර්තාගත සංඛ්‍යාව.

මේක අපි ගත්තොත් සතියකට සාමාන්‍ය අගය ගන්නවා නම් ඔබට පෙනෙනවා මුල් අවස්ථාවේදී ඉතාම අඩුවෙන් කෙරිලා මේ ගිය සුමානෙ වෙනකොට ඒ සුමානෙ සාමාන්‍ය අගය 531ක් වෙනවා. එතකොට මේ සතියේ ගත්තොත් මේක මං හිතන්නෙ 700 වෙයි.

මොකද පහුගිය දින ටිකේම 700ක අගයක් අරන් තියෙනවා මේ පරීක්ෂණ කිරීම. දැන් ඊයෙ තමයි ඒක එතනිනුත් ඉහළට ගිහිලා එකවැර 1142ක් වැනි සංඛ්‍යාවක් පරීක්ෂණයට ලක් කරලා තියෙන්නෙ. මේකට හේතුවෙනවා මේ ප්‍රදේශවල වැඩි වැඩියෙන් පරීක්ෂණ කිරීමට යොමුවීම.

ඒවගේම අපි අද පැවැත්වෙනවා වීඩියෝ සාකච්ඡාවක් අපගේ පර්යේෂණාගාර සමඟ. එහිදී ඇතැම් පර්යේෂණාගාරවල මේ PCR යන්ත්‍ර වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තව PCR යන්ත්‍ර කිහිපයක් අපට ලබාගන්න හැකිවෙයි කියලා. ඊට අමතරව ඊයේ දිනයේ අපි පෞද්ගලික අංශය සමඟත් මේ ගැන සාකච්ඡා කළා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (24) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.

කෙසේවෙතත් පරීක්ෂණ ධාරිතාවය වැඩි කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් පසුගිය සති කිහිපය තිස්සේම දිගින් දිගටම ඉල්ලීම් කරනු දැකගැනීමට හැකිවුණු අතර බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

More News