Wednesday, April 29, 2020

Written on

🔥 ස්වර්ණවාහිනියත් රෙනෝ ද සිල්වා යටතට?


හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රධානම සහ ජනප්‍රියතම වැඩසටහන් ඉදිරිපත් කරන්නන් වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා එම ආයතනයෙන් ඉවත්වී ස්වර්ණවාහිනී නාලිකාවත් සමඟ සම්බන්ධ වීම ඊයේ (28) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝලනයට ලක්වූ පුවතක් විය.

කෙසේවෙතත් මෙය හුදෙක් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙනත් ආයතනයකට මාරු වී යාමකට වඩා හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ ද සිල්වාගේ යටතට ස්වර්ණවාහිනියත් පත්වුණු ආකාරයක් පෙන්නුම් කෙරෙන්නක් බවයි මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත්තේ.

 ස්වර්ණවාහිනී නාලිකාව ද අත්පත් කරගැනීම යනු රෙනෝ ද සිල්වාගේ දීර්ඝ කාලීන සිහිනයකි. ඔහු ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව ද සිටියේය. පසුගිය යුගයේදී ඔහු ස්වර්ණවාහිනිය හිමි එදිරිසිංහ පවුලත් සමඟ මේ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ නමුත් අවසානයේ ඒවා බිඳ වැටිණි.

ETI ආයතනයේ සිද්ධියට අදාළව එදිරිසිංහ පවුලට හිරු නාලිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙන්නට පටන් ගත්තේ ද මේ සාකච්ඡා අසාර්ථක වීමත් සමඟය.

ලයිකා මොබයිල් සමාගම මෙම ගනුදෙනුවට සම්බන්ධ වුණේ මීට පසුවය. එහෙත් වාර්තා වන අන්දමට නම් ලයිකා සමාගම ද ස්වර්ණවාහිනිය සම්බන්ධයෙන් සිය සැලසුම් සාර්ථක කරගැනීමට සමත් වී නැත. එම නාලිකාව සාර්ථක පරිදි කළමනාකරණය කරගැනීමට ඔවුන්ට නොහැකි වී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිරගොස් තිබිණි.

සුදේව සහ රංගන ස්වර්ණවාහිනියට සම්බන්ධ වන්නේ ඔය අතරේය. විශේෂයෙන් සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියට එක්වන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර බාරගනිමිනි.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ අය දන්නා ආකාරයට නම් සුදේව කොහෙත්ම රෙනෝ ද සිල්වාව අතැර යන්නට හැටියක් නැත. එය විය නොහැක්කකි. මන්දයත් සුදේව යනු රෙනෝගේ අතිශය විශ්වාසවන්ත, සමීප නිලධාරියකු වන බැවිනි.

රංගන සහ සුදේව යන දෙදෙනාම එකවැර රෙනෝව අතැර ගියේය යන්න කිසිසේත්ම වෙන්නට බැරි දෙයකි.

විශේෂයෙන්ම මෙවැනි මොහොතක එවැන්නක් කොහෙත්ම වීමට ඉඩක් නැත. හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ ද සිල්වා සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර යන දෙදෙනා මේ වනවිට සිටින්නේ සීතල යුද්ධයක නිරත වෙමිනි. ඒ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධිරාජ්‍යයේ කිරුළ වෙනුවෙනි. වඩාත් නිවැරදිව කිවහොත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පාතාලයෙහි කිරුළ වෙනුවෙනි.

එවන් තත්වයක් යටතේ තමන්ගේ හොඳම සෙබළුන් දෙදෙනෙකු අහිමි කරගැනීමට, නිකම්ම නැති කරගැනීමට රෙනෝ ද සිල්වා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැත. අනෙක් අතින් රටේ දේශපාලන තත්වය යම් ව්‍යාකූලත්වයක් උසුළද්දී, මැතිවරණයක් ද කැඳවා තිබියදී, එනම් සුදේවලා රංගනලා ලවා කරවා ගැනීමට අනන්තවත් වැඩ තිබියදී අති දක්ෂ කූඨ ව්‍යාපාරිකයකු වන රෙනෝ ද සිල්වා ඔවුන් දෙදෙනාට නිකම්ම තම අත යටින් ලිස්සා යාමට ඉඩදී බලා සිටියේය යන්න විශ්වාස කළ නොහැක්කකි.

එසේම තනතුර කොතරම් ඉහළ වුවත් අංක එකේ නාලිකාවක සිට ඊට අහළකටවත් එන්නට නොහැකි නාලිකාවක සේවය සඳහා සුදේව සහ රංගන හිරු නාලිකාව අතැර ගියාය යන්නත් සිතාගැනීමට අසිරු දෙයකි. එය තමන්ගේම තත්වය පහළ දමාගැනීමක් මෙන්ම මූල්‍යමය ස්ථාවර භාවය පිළිබඳ සහතිකයක් නොමැති ආයතනයකට යාමේ අතිශය අවදානමක් ද බාරගැනීමකි. ස්වර්ණවාහිනිය යනු යම් ආකාරයකින් මධ්‍යස්ථව ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනයක් වන අතර සුදේවලා රංගනලා යනු කොහෙත්ම මධ්‍යස්ථ චරිත ද නොවේ.

මේ අතරම රෙනෝ ද සිල්වාගේ වුවමනාවන්ට පිටින් මේ දෙදෙනා ස්වර්ණවාහිනියට එකතු වුනේ නම් ඔවුන්ට බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් රැකියාව කරගෙන සිටින්නට ඉඩ ලැබේයැයි සිතීම යනු සිහිනයක් බව ඔවුන් දෙදෙනාම හොඳහැටි දනිති. ඒ ඔවුන් දෙදෙනා රෙනෝගේ හැකියාවන් හොඳින්ම දන්නා බැවිනි. රෙනෝගේ මාධ්‍ය ජාලය යනු පාතාල මාධ්‍ය ජාලයක් බව සිය භාවිතාවෙන් ප්‍රසිද්දියේම පෙන්වා සිටින්නකි. ඒ පිළිබඳව ආඩම්බර ද වන්නකි.

මේ සියල්ල සලකා බැලීමේදී වැඩිම සම්භාවිතාවක් ඇත්තේ සුදේවලා ස්වර්ණවාහිනියට ගියාට වඩා ස්වර්ණවාහිනිය රෙනෝ යටතට ආවාක් වැනි දෙයකට බවයි මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි සැකය එල්ල වී ඇත්තේ.

සියල්ල තිබියදී ස්වර්ණවාහිනියත් සුදේවලාගේ රංගනලාගේ මාධ්‍ය භාවිතය අනුව ආණ්ඩුවේ ප්‍රචාරණ ජාලයට එක්වන්නේය යනුම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අතිවිශාල ජයග්‍රහණකි.

නමුත් මෙහි ඇත්ත නැත්ත තාම තහවුරු නැත.

More News