Monday, April 27, 2020

Written on

👀 ගොසිප්9 ඇස - කොවිඩ් මරණ නොමැති වියට්නාමයෙන් පාඩම් ඉගෙන ගත හැකි ද?

කොවිඩ්-19 තවදුරටත් ලොව පුරා පැතිර යමින් තිබෙන අතරේ ලොව තවත් රටකට ඉන් බලපෑම් එල්ල වී ඇත්තේ යන්තමින් පමණි.

වියට්නාමය, කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ චීනයෙන් වෙන්ව පවතින්නේ ගොඩබිම් දේශ සීමාවකිනි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය පුද්ගලයින් නව කෝටි හැත්තෑ ලක්ෂයකට (මිලියන 97) නිවහන වෙයි. නමුත් මේ දක්වා වියට්නාමයෙන් වාර්තා වී ඇත්තේ කොරෝනාවෛරස් ආසාදිතයින් 270 දෙනෙකු පමණක් වන අතර එකදු මරණයක් හෝ එරටින් වාර්තා වී නොමැත.

සිය ජනයා බලමුළු ගන්වමින් "කොරෝනාවෛරසයට එරෙහිව යුද්ධයක්" ප්‍රකාශයට පත් කළ වියට්නාමය මේ වන විට සීමා ලිහිල් කිරීම ආරම්භ කර තිබේ. පාසල් යළි විවෘත කිරීමට අවසර ලබා දී ඇත.




ඔවුන් එවැන්නක් කළේ කෙසේ ද? එය වෙනත්, ඒ හා සමාන රටවලට අනුගමනය කළ හැකි මොඩලයක් ද?

ජනවාරි අග භාගයේ කොරෝනාවෛරසය ආසාදිතයන් පළමුව වාර්තා වූ මොහොතේදී ම වියට්නාමය වහා ක්‍රියාත්මක විය. චීනය අතර වන දේශ සීමා වසා දැමීමට එරට බලධාරීහු උත්සුක වූහ. එමෙන් ම ඕනෑ ම ප්‍රධාන ගුවන් තොටුපොළකින් රට තුළට පැමිණෙන මගීන් ශරීර උෂ්ණත්ව පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගත්හ.

එවක වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනා ම පාහේ විදෙස් රටවල සිට පැමිණි අය බව වටහාගත් වියට්නාම් ආණ්ඩුව එලෙස පැමිණෙන සියලු දෙනා ම දින 14 ක නීරෝධායනයකට යොමු කළේය.

නිරෝධායන ස්ථාන සදහා මුදල් ගෙවීමක් සිදුකර සංචාරක හෝටල් යොදා ගැනීමටත් ආණ්ඩුව පියවර ගත්තේය.



මාර්තු අග වන විට වියට්නාම් ආණ්ඩුව තවත් ඔබ්බට යමින් සියලු ම විදේශිකයන්ට රට තුළට පැමිණීම තහනම් කළේය. වියට්නාම් සම්භවයක් සහිත පුද්ගලයන් සහ දීර්ඝ කාලීන සංචාරක වීසා යටතේ රටෙන් පිටව ගිය ඔවුන්ගේ ඥාතීන් ද ඊට යටත් කෙරිණි.

කොරෝනාවෛරසය ආසාදිත යයි තහවුරු වූ පුද්ගලයන් හුදෙකලා (Isolate) කිරීමට පියවර ගැනිණි. එවැනි පුද්ගලයන් ඇසුරු කළ යම් අයෙකු වී නම් ඔවුන් සොයාගෙන වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරිණි.

එසේ ම අඩු පිරිවැයකින් කොවිඩ්-19 පරීක්ෂණ උපකරණ කට්ටල නිර්මාණය කිරීමටත් එය රට තුළ ම නිෂ්පාදනය කිරීමටත් වියට්නාමයට හැකි වූ බවක් පෙනෙන්නට තිබේ.
නමුත් සුළු වශයෙන් අතිරේක සම්පත් සහිත සංවර්ධිත රටක් වන වියට්නාමයට දකුණු කොරියාව සහ ජර්මනිය වැළඳ ගත් ආකාරයේ අධික පිරිවැයක් සහිත මහා පරිමාණ කොවිඩ් පරීක්ෂණ ක්‍රම දැරිය නොහැක.

ඒ වෙනුවට ඉතාමත් තදින්, වෛරසය පැතිර යා හැකි මාර්ග හඹා යාම සහ ආසාදනය වූවන් හුදෙකලා කිරීමට අවධානය යොමු කෙරෙන "අඩු වියදමක් සහිත ප්‍රවේශයක්" කෙරෙහි වියට්නාම් බලධාරීහු විශ්වාසය තැබූහ.


සරල ඵලදායි වීඩියෝ පණිවුඩ සහ වියට්නාම් යුද සමයේ භාවිත කළ ආකාරයේ වීරත්වය සිහි ගන්වන පෝස්ටර් ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහන් ආණ්ඩුව විසින් ජාතික මට්ටමින් දියත් කරනු ලැබීය.

අගමැති ගුයෙන් සු-උන් ෆුක් "දීර්ඝ යුද්ධයක වසන්ත අරගලයට" උර දෙන ලෙස වියට්නාම් වාසීන්ගෙන් ඉල්ලා සිටියේය. එකී ප්‍රකාශය පැහැදිලි වශයෙන් ම 1975 ආරම්භයේ ඇමරිකානු හමුදා භටයන්ට එරෙහිව දියත් වූ සාර්ථක හමුදා ප්‍රහාරයක් හා බැඳේ.
"වියට්නාමය කියන්නේ බලමුළු ගැන්විය හැකි සමාජයක්," යනුවෙන් නිව් සවුත් වේල්ස් කැන්බරා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කාල් තේයර් පවසයි.

"එය එක් පක්ෂයක් පමණක් සහිත රාජ්‍යයක්. විශාල මහජන ආරක්ෂක හමුදාවක් එය සතුයි. ඒ වගේ ම එය, ස්වභාවික ව්‍යසනවලට ප්‍රතිචාර දැක්වීම අතින් හොඳ, ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන ආණ්ඩුවක්,"

නමුත් මේ පියවර සෙසු රටවලටත් අනුගමනය කළ හැකි මොඩලයක් ද?

බීබීසී වියට්නාම් සේවයේ සංස්කාරක ජියැන්ග් ගුයෙන්ට අනුව එක් අතකින් සාර්ථක වුවත් එහි අවාසිදායක පැතිකඩක් ද තිබේ.

තම අසල්වැසියන් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙස සාමාන්‍ය ජනයා දිරි ගන්වා ඇති අතර බලහත්කාරයෙන් නිරෝධයනයට යොමු කරන බවට පවතින බිය, වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණනාවක් පළා ගොස් සැඟව සිටීමට හේතු වූවා විය හැක.

වෛරසය පැතිර යාම පාලනය සඳහා ගත් පියවර වියට්නාම් ආර්ථිකයට බලපා ඇති අතර ඒ හේතුවෙන් ව්‍යාපාර ගණනාවක් වසා දැමීමට සිදුව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් සහ නැගෙනහිර ආසියාව වෙත කෙරෙන ප්‍රධාන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් රජයට අයත් වියට්නාම් ගුවන් සේවයට ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා විය.


වෛරසය පැතිර යාම සාර්ථකව සීමා කිරීම තුළ ඇතැම් ප්‍රදේශවල සිවිල් නිදහස සීමා නොවූවා නොවේ.

කාර්යක්ෂම ප්‍රාදේශීය පාලන තන්ත්‍රය සහ දැඩි ආරක්ෂක උපකරණ සමග නිරෝධායනය බලාත්මක කිරීමට වියට්නාමයට හැකි විය. වෛරසය පැතිර යාම නැවත්වීම සඳහා ඇතැම් විට දිස්ත්‍රික්ක වශයෙන් ඊට යටත් කෙරිණි.

නමුත් යුරෝපා රටවල් අනුගමනය කළ ආකාරයේ 'ලොක්ඩවුන්' (සියලුම කටයුතු නවතා ජනයා නිවෙස්වලට සීමා කිරීම) ක්‍රමවේදයෙන් වියට්නාමය විශාල වශයෙන් වැළකී සිටියේය. අප්‍රේල් 23 වන විට හැනෝයි සහ විස්සකට අධික ප්‍රධාන නගරවල ක්‍රියාත්මක කර තිබූ දැඩි සීමා ඉවත් කෙරුණු අතර හාර ලක්ෂ පනස් දහසක් පමණ වෙසෙන දිස්ත්‍රික්ක/නගර තුනක් තවමත් 'ලොක්ඩවුන්' කර ඇත.

එම ප්‍රදේශවල රැකවල් යොදා ඇති අතර කිවිවෙකුටත් ඉන් පිටතට යා නොහැක.
"දේශපාලන කැමැත්ත, හොඳින් සංවිධානය වූ රාජ්‍යයක් සහ අනුකූල ජනතාවක් සිටීම කොරෝනාවෛරසයේ වඩාත් නරක බලපෑම්වලින් බේරී සිටීමට රටකට ප්‍රමාණවත්," යනුවෙන්  සංස්කාරකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More News