Thursday, April 23, 2020

Written on

🔥 අපේ කාලයේ වීරයෙක් !

මේ කතාව දිගය. එහෙත් වෙලා රැගෙන බලන්න යයි මා ඔබට යෝජනා කරමි. විශේෂයෙන් පදින බයිසිකලයක දුර ගමනක් ගිය කෙනෙක් සිටී නම්, ඔහු හෝ ඇය මේ කතාව අගය කරනු ඇත. බොහෝ කලක සිට හඳුනන, හිත මිත්‍ර ‘සුජීව ප්‍රේමරත්න’ මිතුරා මේ කතාව ඔහුගේ මුහුණු පොත් බිත්තියේ දමා තිබිණ. ඔහු මට මේ කතාව මෙසේ විස්තර කර කියන්නට කීවේය. අප දෙදෙනාටම මේ බයිසිකල් උන රෝගය අදත් ඇත. සමහරවිට ඔබ, මා බයිසිකල් වලින් රට වටා ගිය ගමනේ විස්තර කියවන්නට ඇත.
එහෙත් මට වඩා බයිසිකල් උනක් සුජීවට ඇත. විධායක නිළධාරියෙක් සහ ආයතන ප්‍රධානියෙක් වූ ඔහු, සේවයට යන්නේ පදින සයිකලයෙනි. මේ පදින බයිසිකල් ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ කොතරම් දන්නේද සහ අගය කරන්නේද යත්; ඔහු ජනාධිපතිතුමාටද කොළඹ වටරවුම් මාර්ගයක් යෝජනා කර ලිපියක් දමා තිබිණ. බටහිර රටවල් වල පදින බයිසිකල් සඳහා ප්‍රධාන මාර්ගයට සමාන්තරව මාර්ග ඇති බව බොහෝ අය නොදනී. එංගලන්තයේ අගමැති ‘බොරිස් ජොන්සන්’ මහතා වැඩට ගියේ පදින බයිසිකලයෙනි.

මේ කියන්න යන කතාවේ වැදගත්කම කුමක් කියා ඔබ සිතන්නේද?
ලංකාවේ ඇඳිරි නීතියේ අගුල් ඇරිය දින රටේ සිදු වූ නොයෙක් අබග්ගයන් ඔබ දකින්නට ඇත. හෙටක් නැතිවාක් මෙන් බෝතල් ගන්නට බාර් වල පොරකන්නන්ට මේ යොවුන් තරුණයා හොඳ ආදර්ශයකි. ආණ්ඩුව අපහසුවෙන් ප්‍රධානය කරන, රුපියල් 5000 මුදල කෙලින්ම බාර් එකට පූජා කල අවස්ථා ගැන ආරංචි විය. ඒ අතර සමාජ දුරස්ථ භාවය ඔස්සේ පොදු සෞඛ්‍යය දෙස කිසිම පරාර්ථකාමීතත්වයකින් නොසිතා, ස්වයං විනයානුකූල සේ නොහැසිරී, එකට පොදි ගැසී බාර් වලින් බෝතල් මිළදී ගන්නා අපතයන් මාධ්‍ය වලින් පෙන්වා තිබුණි.


තමන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පොදු ඉලක්කයක වටිනාකම එකම එක ආත්මාර්ථකාමී ආශාවක් නිසා විනාශ කරගන්නට, ඒ මිනිසුන් නිවටයන් සහ දීනයන් වූහ. කොරෝනා යන පොදු සතුරා මර්ධනය කිරීමට උත්සාහ නොකළ ඒ දුබල මිනිසුන්ට සාපේක්ෂව, තවමත් නව යොවුන් වයසේ සිටින මේ තරුණයාගේ ආත්ම ශක්තිය ඔබ කෙසේ සසඳන්නේද ?

තීරණය ඔබේ අතේය. මා නම් සිතන්නේ වීරයන් මෙන්ම නිවට නියාළු මිනිසුන් බිහි වන්නේ ඒ ඒ අවස්ථාවේ ඇතිවන තත්වයන් පමණක් නිසාම නොවේ කියාය. එය ඒකායන දෘඩ අරමුණක සිටීමේ අයෝමය ශක්තියද වන්නේය. කී දෙනෙක් තම ශක්තිය සහ දිරිය, හැඟීම් වලට වහල් නොවී අසීරු අවස්ථාවක් සඳහා, වඩා වැදගත් දෙයකට යොදන්නට සමත් වේද ?

කතාවට නැවතත්; අපගේ ඒ අතීතයට අප ගෙන ගියේ ක්ෂණිකව මේ දරුවා අපේ හදවත් තුල වීරයෙක් කරවමිනි. “ඔහු සරළ මිනිසෙක් නිසා, හුදෙක් යොවුන් තරුණයෙක් වූ නිසා, මෝඩයෙක් මෙන් වැඩ කල නිසා, මෙසේ විය”… සේ වංක මිනිසෙක් කියනු ඇත. එහෙත් ඔහු ඉලක්කය ලබා ගත්තේය. බළලා මැටියෙන් වුවද මීයන් ඇල්ලීම වටී.
ඉන්දියානු ජාතික ඔහු, නමින් ‘මහේෂ් ජෙනා’ වේ. අපි ඔහුට ‘ජෙනා’ යයි කියමු.
ඉන්දියාව අගුලු දමා ඇත.

‘ජෙනා’ නම් වූ වයස වසර 20 ක සංක්‍රමණික කම්කරුවා දින 7 ක් තුළ කිලෝමීටර් 1,700 ක් සිය නිවෙස කරා ළඟා වීම මේ කතාවයි. ඔහුගේ ලොකුම අභියෝගය වූයේ තම බයිසිකලයේ රෝද චලනය කිරීම විය. අප්‍රියෙල් පළමු දින මහේෂ් ජෙනා සිය සුපුරුදු පෙර උදෑසන චර්යාව අනුගමනය කළ නමුත්, අසාමාන්‍ය සැලැස්මක් මනසේ තබාගෙන සිටියේය.

පාන්දර 4 ට පමණ, නින්ද නොයන රාත්‍රියක් විඳ දරා ගැනීමෙන් පසු, රැවුල කපන ලද හිසක් සහ බොළඳ මුහුණක් සහිත 20 හැවිරිදි ජෙනා, ඔහුගේ නිල් පැහැති ජීන්ස්, නිල් සහ අළු පැහැති ඉරි සහිත ටී ෂර්ට් සහ රබර් සෙරෙප්පු පැළඳ සිටී. ඔහු තම බෑගය ඔහුගේ උරහිස් මත තබා එහි බර ගැන සතුටු විය. ඉන් පසු ඔහු, ඔහුගේ කුඩා කාමරයෙන් ලිස්සා ගොස් බයිසිකලයට නැග්ගේය.

තවමත් රාත්‍රිය පවතී. එය අඳුරු විය.

සාමාන්‍යයෙන් ඔහු මහාරාෂ්ට්‍රයේ සැන්ග්ලි හි කාර්මික කලාපයේ, කිලෝමීටර 10 ක් පමණ දුරින් පිහිටි සිය කර්මාන්ත ශාලාව වෙත මේ බයිසිකලයෙන් ගමන් කරනු ඇත. එහෙත් මේ වතාවේ ඔහු, ‘ඔඩීෂා හි ජජ්පූර්හි බන්රා නම් කුඩා ගම්මානයේ ඇති ගෙදර යන්නට තීරණය කළේය. එය ඇත්තේ කි.මී. 1,700 ක් දුරිනි.

ඔහුගේ බෑගයේ බ්ලැන්කට්ටුවක්, සබන් කැටයක්, ඇඳුම් මාරු කිරීමක්, බිස්කට් පැකට් කිහිපයක් (පාර්ල් ජී,මාරි සහ ක්‍රීම්), වතුර බෝතලයක් සහ රුපියල් 3,000 ට අඩු මුදල් තිබිණි. ඒවා දමා ඇති බෑගයේ බර කිලෝග්‍රෑම් 10 ට වඩා ටිකක් වැඩියි. ඔහුට සිතියම් හෝ දුරකථනයක් නොතිබුණි. සිතේ කිසිම ව්‍යාකූල තාවක් නැති ඔහුට කිසිම බියක් හා සැකයක් දැනුනේද නැත. ඔහු නිවසට පැමිණෙන තෙක් ඔහු දිගටම බයිසිකලය පදවයි. බයිසිකලය බිඳී ගියහොත් ඔහු ඇවිදින්නේය. එය ඔහුගේ සරළ සැළැස්ම විය.
සැළැස්ම නම් සරළය. එහෙත් එය කොතරම් පහසු වේද යන්න ගැන ඔහු කරදර වුනේ නැත.

මෙය ඔහු සහ ඔහුගේ සගයන් අල්ලාගෙන සිටි අවිනිශ්චිතතාවයට හා භීතියට වඩා හොඳ බව ඔහු තීරණය කළේය. මක්නිසාදයත්, සැන්ග්ලි හි කාර්මික කලාපයේ ලෝහ හා ප්ලාස්ටික් කම්හල්වල සේවය කරන ජෙනා මෙන් වූ සියලුම සංක්‍රමණික කම්කරුවන් සඳහා මාර්තු 24 වන දින ජාතික අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කළ හෙයිණි.

… “කටකතාව වූයේ සියලුම කර්මාන්තශාලා අවම වශයෙන් මාස පහක්වත් වසා දමනු ඇති” බවයි. “හැමෝම ගොඩක් බය වුණා. … අපි උපයන්නේ කෙසේද?… අපි කොහොමද කන්නේ?… අපි කාමර කුලිය ගෙවන්නේ කෙසේද? … අපි බේරෙන්නේ කෙසේද, … අපට ගෙවනු ලැබේද යන්න ගැන, කිසිවෙකු අපට කිසිවක් කීවේ නැත. ”… හේ එසේ කියයි.
ප්‍රවෘත්ති දකින විට, සංක්‍රමණික කම්කරුවන් විශාල සෙනගක් ව පයින් යන බව ජෙනා දුටුවේය. ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් ඒ දේම කිරීම ගැන කතා කළහ. … ““දින 4ක්, 5ක් තිස්සේ අපි දැඩි මානසික පීඩනයකට ලක්වුණා, කුමක් කළ යුතුදැයි අපි නොදනිමු. මට නිදාගන්න නොහැකි. මම යනවාද නැද්ද? මට එය කල හැකිද? මම ඇවිදිනවා නම්, මම දිනකට කිලෝමීටර 50 ක් ආවරණය කරමි”… “එවිට මට මාසයක් ගතවනු ඇත!.. “ නමුත් මම සිතුවා, මම බයිසිකලයේ ගියොත්, සමහර විට මට දිනකට කිලෝමීටර් 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගමන් කළ හැකිය කියා”… “එය දින 15 ක් පමණ වේ. එතරම් එය නරක නැත. ”…

තම කුලී කාමරයේ වාඩි වී ජෙනා සිය තීරණය ගත්තේය. මාර්තු 29 වන දින ඔහු, ‘මනෝජ් පරිදා’ නම් ඥාති සහෝදරයෙකුට පාරේ දුරකථනයෙන් කතා කර ඒ තීරණය ගැන කීවේය. ජෙනා හැදී වැඩුනේ ඔහුගේ නිවසේ විය. ජෙනා සහ පවලට ඔවුන්ගේය
කියන්නට නිවසක් තිබුනේ නැත. … “මම ඔහුට කිව්වා ආපහු ඉන්න කියලා,” පරිදා පැවසීය. …“ඔහු සතුව මුදල් නැති බව පැවසූ විට මම ගූගල් පේජ් හරහා රුපියල් 3,000 ක් යැව්වා”… “ඔහු මහාරාෂ්ට්‍රයෙ සිට පාපැදිය පැදවනු ඇතැයි නිවසේ කිසිවෙකු සිතුවේ නැහැ”… “එය කළ නොහැකි දෙයක් යැයි අපි සිතුවෙමු ”…

මේ තීරණය ගැන වෙන කාටවත් නොකියන්න ජෙනා තීරණය කළා. මේ කර්මාන්ත ශාලාවට ඔහු මුලින් පැමිණි ආකාරය ආවර්ජනය කලේ මෙහෙමයි.

ඔහුගේ ගමේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඔහුව ප්‍රථම වරට කැටුව යන විට, ජජ්පූර් සිට බුවනේශ්වරයට පැය හතරක ගමනක් සඳහා බස් රථයක ඒමට සිදු විය. එතැන් සිට ඔවුන් ඉන්දියාවේ නැගෙනහිර කොටස බටහිර කොටසට සම්බන්ධ කරන, ‘කොනාර්ක් එක්ස්ප්‍රස්’, ‘බුනනේෂ්වර්’ සිට ‘මුම්බායි’ දක්වා කිලෝමීටර් 1,932 ක දුරක් පැය 37 විනාඩි 15 කින් ආවරණය කරයි. දින එකහමාරකට පසු ඔවුන් කර්නාටක දේශ සීමාවට ආසන්නව, නිරිතදිග මහාරාෂ්ට්‍රයේ සොලාපූර් නම් නගරයට ගොඩ බැස්සා. සොලාපූර් සිට ඔවුන් තවත් බස් රථයක් සන්ග්ලි වෙත ගෙන ගියේ පැය 12 ක ගමනකි.

… “එය මගේද මාර්ගය වනු ඇත,” ජෙනා පැවසීය. “මම ඊට වඩා දෙයක් හිතුවේ නැහැ. මම කෑම ගැනවත් ජලය ගැනවත්, බයිසිකලය එවැනි තත්වයක් යටතේ පවතින්නේද කියාවත් සිතුවේ නැහැ. ”…

ජෙනා උපත ලැබුවේ ලුඩියානාවේ පාපැදි වෙළඳපොළක් අසල ය. ඔහුගේ දෙමාපියන් නගරයේ පදික වේදිකාවක කඩයක් පවත්වාගෙන ගියහ. මුදල් සමඟ පොරබදමින් සිටි ජෙනා, මාමා සමඟ ජීවත් වීමට වයස අවුරුදු 9 දී ඔඩීෂාහි පිහිටි ඔවුන්ගේ ගමට යවා ඇත. පාසැලේදී ජෙනාට හමුදාවට බැඳීමේ අභිලාෂයන් තිබුණි. මීට වසර පහකට පෙර ඔහුගේ පියා දරිද්‍රතාවය නිසාම සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණි. ඔහුගේ සාක්කුවේ රුපියල් 500 ට වඩා අඩු මුදලකින් ඔහු දිල්ලියට දුම්රියකට ගොඩ වූ අතර, එතැන් සිට තම පියා බැලීමට ලුඩියානා ප්‍රදේශයට ගියේය.

පසුගිය වසරේදී ඔහුගේ පියාට වකුගඩු රෝගයක් වැළඳී තිබේ. ඔහුගේ කොඳු ඇට පෙළේ ආබාධයක් නිසා ඔහු දුර්වල විය.

“මට බාල සහෝදරයන් දෙදෙනෙක්, බාල සහෝදරියක් සිටිනවා,” ජෙනා පැවසීය. “මගේ වාරය පැමිණියා, මට ධනය උපයා ගැනීමට අවශ්‍ය විය. අපෙ ආර්ථික තත්වය ගොඩක් නරකයි, සල්ලි නැහැ, අපේම ගෙදරක් කියා කියන්න අපට ගෙයක් නැහැ. ” … මාස නවයකට පෙර ජෙනා සිය 10 වන පන්තියේ විභාගයට නොසිට පාසලෙන් ඉවත් වූ අතර, ඉන්දියාවේ මිලියන 120 ක් පමණ සංක්‍රමණික කම්කරුවන්ගෙන් කෙනෙකු බවට පත්විය.
විශේෂ කුසලතා නොමැති ජෙනා මුලින්ම ප්ලාස්ටික් කම්හලක වැඩ සොයාගෙන, බඩු පැටවීම සහ බෑම කළේය.

… “මගේ බෙල්ල කැඩී යයි මට දැනුණා,” ඔහු පැවසීය. “මම එයට වෛර කළා.” …ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් ඔහුට රැකියාවේ අන්තරායන් ගැන අනතුරු ඇඟවූවත්, ඔහු ජල පොම්ප සාදන ලෝහ කර්මාන්ත ශාලාවක ආධුනිකයෙකු බවට පත්විය. ආධුනිකත්ව පුහුණුව ආරම්භයේදීම ඔහු පවසන්නේ දුක්මුසු දෙයක් දුටු බවයි. වැඩ මුරයේදී සොයා ගැනීමට නොහැකි වූ කම්කරුවෙකු සොයා ගැනීම සඳහා කල උත්සාහයකදී ඔහු දුටුවේ ඒ කම්කරුවා උඩට විශාල යකඩ පුවරුවක් වැටී අත්තිවාරමක් උඩ මිය ගොස් ඇති බවය.
… “එහි සේවය කරන පුද්ගලයින්ට අත් පා අහිමි වන බව මම දැක ඇත්තෙමි,”.. ජෙනා පැවසීය. නමුත් ඔහු සොල්දාදුවෙක් මෙන් විය. ඔහු යකඩ කැපීමට හා වෑල්ඩින් කිරීමට ඉගෙන ගත්තේය. මාස පහක් තිස්සේ ඔහුට මුදල් ලැබුණේ නැත. ජනවාරියේදී, ඔහුට මසකට රුපියල් 12,000 ක් ගෙවන රැකියාවක්, ‘ජොන්සන් ෆවුන්ට්‍රි’ යන ආයතනයේ හමු විය. ඒ කොම්පැනිය, තෙල් හා ගෑස් කර්මාන්තය සඳහා ලෝහ වාත්තු උපකරණ නිපදවිය.

අප්‍රියෙල් මස පළමු දිනයේ, හිරු බැස යන කාලය වන විට, අපේ වීරයා, ජනාකීර්ණ නගරයක් වන මිරාජ් නගරය පසු කර NH 160 පාර හරහා උතුරු දෙසට ගොස් සොලාපූර් වෙත ඒමට බලාපොරොත්තු විය. හිරු බැස යන විට විවේක ගැනීම ඔහුගේ සැළැස්ම විය. මිරාජ් නගරය පසුකර, ඔහු NH 160 පාරෙන් 161 අංක සහිත මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අධිවේගී මාර්ගයට පිවිසියේය. පැය ගණනක් ඔහු උක් පිට්ටනි පසුකර ස්ථාවර සේ බයිසිකලය පැදවීය. ඔහු තරණය කළ පළමු ගඟ ‘ඇග්‍රානි නම් විය. නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශයේ කරදර සමනය කිරීම සඳහා 2017 දී ඇග්‍රානි ගඟ සාර්ථකව නැවත අලුත්වැඩියා කරන ලද්දකි.

හිරු විශාල රතු ගිණි බෝලයක් වීමෙන් අනතුරුව මලානික වී ක්ෂිතිජයේ සැඟවෙන සවස් කාලයට කිට්ටු වන විට ජෙනාට මහන්සියි නැති බව දැනුණු හෙයින්, සහ තම පාපැදි පැදීමේ වාතාවරණය සහ පාරේ හුදකලාව සතුටක් ගෙන දුන් හෙයින්, ඔහු දිගටම ගමන් කළේය. ඔහු රාත්‍රිය සඳහා – පන්සලක නතර වූ විට – ඔහු සොලපූර් සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් වූ අතර කිලෝමීටර 150 ට වඩා එදින පාපැදිය පදවා තිබුනේය.

පළමුවන දිනයේදී ඔහු මුහුණ දුන් එකම ගැටළුව වූයේ ටයරයක සිදුරක් ඇති වීම පමණි.
ගම්වැසියන් පිරිසක් ඔහු පැමිණියේ කොහෙන්දැයි ඔහුගෙන් විමසූ අතර ඔහුගේ කතාව ඇසීමන් පසු ඔහුට උදව් කිරීමට තීරණය කළහ. …“ඔවුන් මට පන්සලේ නිදාගන්න ඉඩ දුන්නා, මට කෑම දුන්නා, කිරි දුන්නා, මගේ ටයරය අලුත්වැඩියා කළා” කියා ජෙනා පැවසීය. …“මම නින්දට ගියේ කල්පනා කරමින්, මම කිලෝමීටර් 150 ක් බයිසිකලය පැද්දා !… මට මේක කරන්න පුළුවන්!”

ඒ වන විට ජෙනාව, සන්ග්ලි වෙත ගෙන ආ කොන්ත්‍රාත්කරු සහ ජෙනාගේ සගයන් කිහිප දෙනෙකු ඔහුගේ අතුරුදහන් වීම වාර්තා කිරීම සඳහා ප්‍රාදේශීය පොලිසියට ගොස් තිබුණි.

පළමු දිනය තුළ ලැබුණු අත්දැකීමෙන්, ගමන යන්නට අවශ්‍ය වන අසාමාන්‍ය වූ විධිමත් භාවයක රටාවක් ඔහුට අවබෝධ වී තිබිණ. සැකසීය. බයිසිකලයකින් පමණක් ඉන්දියාවේ පළල ආවරණය කිරීමේදී ජෙනාට යන්තම් හෝ කරදරයක් නොදැනිණ. ඇත්තටම එසේ ඔහුට දැනෙන්නට ඇත්තේ ඔහු ඉතා වීර්යාධික කෙනෙක් නිසා වන්නට ඇත. ඔහු උදව් ඉල්ලා සිටි සෑම තැනකදීම ඔහුට උදව් ලැබිණි.

මෙහිදී මා මගේ ජීවිත කාලය තුල අත්දැකි දෙයක් ඔබට කියන්නට අවස්ථාව කර ගනිමි. කිසියම් කෙනෙක් ජීවිතය දෙස ප්‍රායෝගික මාන හරහා ඉතා සුභවාදීව යමක් දෙස අල්පේච්ච සේ බලන්නේද, ඔහුට ඒ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඉතා පහසුය. මෙය මා මෙන් මිලියනයක් මිනිසුන් දුටුවද, බුදුන් වහන්සේ විසින් එය කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිළිව ප්‍රකාශ කර ඇත. නැවත කතාවට;

ඔහු මුළු දවසම සහ රාත්‍රිය දක්වා පාපැදිය පැද්දේය.
… “මට කිසිම භයානක දෙයක් සිදු වුණේ නැහැ. මට කවදාවත් කෑම හෝ ජලය ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. … “මම විනෝද වෙන්න පටන්ගත්තා. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල පහලට යාමේදී ! ඔහු දෙවන දිනයේ සොලාපූර් සිට නල්ඩර්ග්හි දැවැන්ත බලකොටුව පසු කර එහි සුන්දර විල,… වසා දැමූ සීනි මෝල්,…මාර්ග අනතුරු වලින් මියගිය සුනඛයන්ගේ මළ සිරුරු පසුකර, කර්නාටකයට ඇතුළු වුනේය. දිවා කාලයේ කොතැනක හෝ පොලිස් මුරපොලක නතර කළ පසු කරදර වෙන්නට වන බව ඔහු තේරුම් ගෙන තිබිණ.

… “මට බියක් තිබුනා නම්, ඒ පොලිසියට තිබුණේ බිය පමණයි” කියා ජෙනා පැවසීය.
නමුත් පොලිසිය පවා ඔහුව රඳවා තබා නොගෙන ආහාර හා ජලය රැගෙන යන ගමනේදී ඔහුට උදව් කළේය. මෙහිදී සඳහන් කළ යුතු කරුණ නම් ඔහු වෛරසය රැගෙන නොයෑම ගැන ජෙනා වාසනාවන්ත වූ බවය. පොලිස් මුරපොලවල් වලදී ඔහුව බොහෝ වාරයක් නැවැත්වූ අතර, ඔහු කරන දේ ගැන ඔවුන්ට මෙසේ පැවසුවේය. …“මට ආපසු යා නොහැක”… “ඔබ කැමති නම් මාව මෙහි තබා ගත හැකිය”… “ නැතහොත් ඔබට පුළුවන් මට දිගටම යන්න දෙන්නට …”

වාසනාවට ඔවුන් සෑම විටම ඔහුට ඒ ගමන යෑමට අවසර දුන්හ.
ජෙනාට තවත් ගැටළුවක් තිබුනා නම්, එය ඔහුට ටයර් වල පැච් යාම විය. එය අවම වශයෙන් දිනකට දෙවරක් වත් විය. එනම් පැහැදිළිවම ඔහු පැද ගෙන ගිය බයිසිකලය මෙන්ම, ටයර්ද කබල් වන්නට ඇත. නමුත් ඔහුගේ දිරිය නැවුම් විය. … “එය මගේ ගමන ප්‍රමාද කළා”… ගමන ආරම්භ කරන විට, මෙය බොහෝ වාරයක් සිදුවනු ඇතැයි ඔහු දැන සිටියේ නැත.

3 වන දින, ඔහු හයිද්‍රාබාද් වෙත ළඟා වෙමින් සිටියදී, මඟ වැරදී, කිලෝමීටර 100 කට ආසන්න දුරක් වැරදි දිශාවට ගමන් කළේය. ගමකදී, මිනිසෙක් ඔහුට කඳුකර, වනාන්තර භූමි ප්‍රදේශයක් හරහා කෙටි දුරක් පෙන්වා , එය නැවත NH 65 වෙත යොමු වන බව පෙන්වූයේය. ඒ මාර්ගය ඔස්සේ ගිය විට, ගමනේ දුරද අඩකින් අඩු කරනු ඇත. ඔහු කන්දට නගින විට, බයිසිකලයේ පසුපස ටයරයේ තියුණු කැපීමක් හේතුවෙන් කිලෝමීටර 10 ක් පමණ පයින් ගමන් කරමින් ඉතිරි මාර්ගයට නැග්ගේය.

… “පාරේ මුදුනේ, මම නැවත සයිකලයට නැග සමබර වී, මගේ තිරිංග පරීක්ෂා කළෙමි”… “ටයරයේ කැපුම අමතක කර බයිසිකලය පැදවුයෙමි”… “ජෙනා පැවසීය. …“ පුදුමාකාර සේ ඒ හිස් පාරේ වේගයෙන් ගමන් කළා.”… නමුත් ඔහුට මෙහිදී බයිසිකලයේ ටයරය කැපී ඇති සිදුර තවත් විශාල වූ නිසා, තවත් එය පැද යන්නට නොහැකි විය. ඔහු ගමක් සොයා ගැනීමට පෙර, බයිසිකලයද තල්ලු කරමින් තවත් කිලෝමීටර් 30 ක් පයින් ගමන් කළේය.

ටයරයේ සිදුර නිවැරදි කිරීමට ඒ යන ගමන අතරේ නිවාස වල දොරවල වලට තට්ටු කිරීමට ඔහුට සිදුවිය.

ඉන් එක තැනකදී ටයරය පිළිසකර කර ගත්තද, පැය භාගයකටත් අඩු කාලයකදී ටයරය සම්පූර්ණයෙන්ම පුපුරා ගියේය.

නැවතත් ජෙනා ඇවිද ගියේය. ඊළඟ ගමේදී හමු වූ පාපැදි සාප්පුවේ හිමිකරු විසින් ඔහුගේ පසුපස ටයරයේ ටියුබය ඉවත් කර අලුත් එකක් දැම්මේය. එහෙත් ජෙනා ගේ අරුම පුදුම ගමන් විස්තරය ඇසූ සයිකල් රිපෙයාර් කරන්නා විසින් ජෙනාගෙන් අය කරනු ලැබුවේ ටියුබයේ මිළ පමණි. වැඩි කල් යන්නට මත්තෙන් ඔහු හයිද්‍රාබාද්හි, මෙගා නගරය පසුකරමින් අධිවේගී මාර්ගයේ, ‘විජයවාදා’ වෙත කෙළින්ම වැටෙන පාරක ගමන් කරමින් සිටියේය.

මෙම මාර්ගයේ සංක්‍රමණික කම්කරුවන් විශාල පිරිසක් පයින් ගමන් කළ බව ජෙනා දුටුවේය.
… “ඔවුන්, ‘උත්තර් ප්‍රදේශ්’ සහ ‘බිහාර්හි’ අයයි”… ජෙනා පැවසීය. … “ඔවුන් සතුව මුදල් නොමැති බවත්, ඔවුන්ගේ ගම්මාන වෙත ආපසු යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔවුහු පැවසූහ”… ඔවුන්ගෙන් සමහරු මගෙන් ඇහුවා, … “ඔබ කොහොමද, ‘ඔඩීෂාවලට’ සයිකලයකින් යන්නේ කියා”… ඔවුන් එය කරන්නට නොහැකි දෙයක් යයි කීවෝය.

… “මම කිව්වා,‘ භෝලනාත් මගේ පැත්තේ ඉන්නවා නම්, මම අනිවාර්යයෙන්ම එහි යනවා”… භෝලනාත් යනු ජනප්‍රිය ඉන්දියානු දෙවියෙකු වන ශිව දෙවියන්ගේ තවත් නමකි. ඔහු ඇවිදින්නන් පසුකර යද්දී, ගමනට බයිසිකලය තෝරා ගැනීම ගැන තමාට සුබ පතමින් මෙසේ සිතුවේය … “මම කිසිම හේතුවක් නිසා, සයිකලය අත්හරින්නේ නැහැ,”…

… “මට සයිකලය සමඟ ගමන් කිරීමට සිදු වුවද, මම එය සමඟ ඇවිදින්නෙමි, නමුත් මා එය අතහැර නොදමමි”… . දුම්රියක ගමන යන්න වුනොත්, මම දුම්රියේ බයිසිකලයද ගෙන යමි. බස් නැවත ආරම්භ කළහොත් මම එය බස් රථයට දමමි”…”එනම් ඕනෑම වේලාවක ඒ ඕනෑම දෙයක් නැවැත්විය හැකිය යන බිය මට තිබුණි”… “එම බිය නිසා මගේ එකම බලාපොරොත්තුව වූයේ මගේ සයිකලයයි”…

4 වන දින, ජෙනා ‘විජයවාදා’ වෙත ළඟා වූ අතර, ඔහුගේ අතුරුදහන් වීම ගැන ඔහුගේ පවුලේ අය කනස්සල්ලට පත්විය හැකි බව ඔහුට වැටහුණි. ඔහු ආගන්තුකයෙකුගෙන් දුරකථනයක් ණයට ගෙන තම සහෝදරියට කතා කළේය. … “ඔහු කතා කළ විට මට මොහොතකට තරහ ගියා”… කියා ඔහුගේ සහෝදරිය මිටාලි පැවසුවා. ඔහු ගැන කිසිම ආරංචියක් නොමැතිව අපි සියලු දෙනාම දින ගණනාවක් නිවසේ දුක් වින්දා”…
…“ඔහුගේ මෝඩකම ගැන මට තරහ තිබුණත්, අපිටත් සහනයක් ලැබුණා”… “මම ඔහුට කිව්වා, ‘ජජ්පූර්’ වෙත ගොස් නැවත අමතන්න කියා ”

‘ජජ්පූර්’ තවමත් කිලෝමීටර් 900 ක් ඈතින් සිටියද මේ වන විට ජෙනා සිටියේ නොසන්සුන් තත්වයකය. ඒ ඔහු, ඔහුගේ සයිකලය සහ මාර්ගය ගැන පමණක් සිතීම හෙයිණි. ඊළඟ දින කිහිපය තුළ, ඔහු සාමාන්‍යයෙන් බොහෝ කලබල වන එක් දෙයක් ගැන පවා ඔහුට අමතක විය – එනම්, මුදල් ලැබෙන්නේ කොහෙන්ද? යන්නය.
අනෙක් කාරණා වූයේ දුරකථනයක් නොමැතිව සිටින්නේ කෙසේද?… ඇමතුම් ලබා ගැනීම හෝ ලැබීම කෙසේ වේද?… වීඩියෝ නැරඹීම,… සංගීතයට සවන් දීම හෝ, ඡායාරූප ගැනීම වැනි දේ ගැන අවධානයක්ද ඔහුට නොතිබිණ.

කරන්නට යන දේ ගැන පමණක් ඔහු පූර්ණ අවධානය යොමු කළේය.
මෙතනින් එහාට ඔහුගේ ගමන් මාර්ගය විශේෂයෙන් සුන්දර, බොහෝ විට ඝන වනාන්තර සහ කඳු පන්ති ඇති පෙදෙස් විය. ඔහුගේ දකුණු පැත්තේ හඬමින් ගලා යන්නේ, ක්‍රිෂ්ණා ගඟ බව ඔහු දුටුවේය. ඔහු මෙවිට ‘කොන්ඩපල්ලි’ රක්ෂිත වනාන්තරය පසු කරමින් සිටියේය. එවැනි සුන්දර පරිසරයක් නිර්මාණය වන්නේ අනන්තය තෙක් විහිද ගිය වනාන්තරයක පමණි. එහෙත් ඒ හරහා යන පාර වටකර ඇති පාලු නිසංසල පරිසරයේ සෞන්දරත්වය හඳුනා ගන්නට හැක්කේ වන සතුන්ට හෝ අවතාර වල‍ට භීතිය නොමැති කෙනෙක් පමණි.

… “ ඒ පරිසරයේ සුන්දරත්වය ගොඩක් තිබුණා, එය පුදුම සහගතයි,” … ඔහු පැවසීය. “මට තනිවම මේ දේ කර මළත් කමක් නැහැ වගේ දැනුණා”… “මම මැරුණොත් මොකද කරන්නේ ?…”කමක් නැහැ”… “මම ජීවත් වුණොත් තවත් හොඳයි”…
… “මම මැරුණොත් මොකද කරන්නේ ?…”කමක් නැහැ”… “මම ජීවත් වුණොත් තවත් හොඳයි”…

විජයවාදා හි ක්‍රිෂ්ණා පෙදෙසේ දැවැන්ත මාර්ග බාධකයක් පසුකරමින්, ජෙනා NH-16 පාර වෙත මාරුවී, නැගෙනහිර වෙරළ දිගේ තම නිවස දෙසට ගමන් ගත්තේය. ඔහු 6 වන දිනය ආරම්භ කළේ, ‘ශ්‍රීකාකුලම්’ පසුකර ‘නාගවාලි ගඟ’ හරහා ඇති දුබල පාලමක් තරණය කරමිනි. මීට වසර දෙකකට පෙර ජුනි මාසයේදී මේ පාළම ගංවතුරෙන් පසු කඩා වැටුණි.

දවස අවසන් වන විට ඔහු, ‘ගංජාම් ​​දිස්ත්‍රික්කයේ’, ‘ගුඩිපාදර්’ නම් ගම්මානය අසල ඔඩීෂා වෙත ගියේය. වැඩි කල් යන්නට මත්තෙන් ඔහු, ‘ගංගාම්’ නම් වූ ඉතා සුන්දර නගරය පසුකර ගියේය. ඒ සරුසාර කෙත් වතු සහ වනය අතරින් ආරම්භ වන පාර, ‘රුෂිකුලියා’ ගඟ ‘බෙංගාල බොක්ක’ වෙත පිවිසෙයි.

“ඔලිව් රිඩ්ලීස් කැදැල්ල” යන ප්‍රදේශය පසු කර ගියද, ඔහු කිසි විටෙකත් මුහුද නොදකින බව පැවසුවද, නිල් පැහැයෙන් දිදුලන ඈත පරිසරය මුහුද වන්නට ඇත. ඔහුගේ දකුණු දෙසට දිවෙන විට සුන්දර මල් පිපී ඇති හුරුපුරුදු සල් වනාන්තර සමඟ දිවෙන පාර දිගේ සයිකලය පදින විට කෙමෙන් මාර්ගය රට අභ්‍යන්තරයට හැරී තිබිණ. පාර පුරා සල් මල් පියළි වැටී පලසක් මෙන්ව තිබිණ. ජෙනා එවිට සාගරයට සම්බන්ද වන ‘චිලික විල’ පසුකරමින් ගමන් කරමින් සිටියේය.

නමුත් 7 වන දින, ‘භුබනේස්වර්’ හිදී ඔහුට නිවසේ තණතීරුවක සිටීමේ සහනය දැනුණි. ගමට කිට්ටු වන්නට වන්නට, ගමන් කරන පාරේ මොකක්දෝ වැඩියෙන් සුන්දර බවක් ඇත. වන මලෙන් සහ තණ පඳුරු වල නැවුම් සුවඳ හමන සුළඟ හරහා දැනේ. කුරුල්ලෝ ශබ්ද නගති. ඈතට විහිදුනු මිටියාවතේ හරිත වර්ණයෙන් ඔබ්බේ, නංගි මල්ලිලා සිටින ඔහුගේ නිවස ඔහු සිතෙන් මවා ගත්තේය. එහෙත් තවත් කිලෝමීටර් 100 ක් යන්නට තිබේ.

ඈත දිගන්තයේ සීමා රේඛාවට ඔහු සිත යොමු කළේය.
… “දිගු පැය බයිසිකල් පැදීම නිසා මගේ පාදවල සහ කලවා වල ඇති වූ වේදනාව හැරෙන්නට මම කිසි විටෙකත් රෝගාතුර වූයේ නැත,”… ජෙනා පැවසීය. …“මම කිහිප වතාවක්ම අව්වට කළු පැහැ ගැන්වීම්වලට ගොදුරු වුණා”… “වේදනාව දරාගත නොහැකි වූ විට, මම නැවතී විවේක ගත්තා”… “මම බුවනේශ්වරයට පැමිණි විට මට ලොකු සතුටක් දැනුණා. ”…

අප්‍රියෙල් 7 වන දින සවස ඔහු තම ගමෙන් කිලෝමීටර 5 ක් පමණ ඈතින් පිහිටි ‘ජජ්පූර්’ නගරයට ළඟා විය. ඔහු තවමත් එහි සිරවී සිටී.

… “මම ‘ජජ්පූර්’ වෙත පැමිණි විට මාමාට කතා කළෙමි”… “ඔහු මට කිව්වා, පොලිසියට ගොස් නිරෝධායනය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන යා යුතු යැයි ඔවුන්ට කියන්න කියා”…දින 14 ක් නිරෝධායනය කිරීමේදී, ජෙනා ඉන්පසු නිවස දෙස යාමට බලා සිටියි. ඔහුට සෑම දිනකම තම මාමා සහ පවුලේ අයව මුණගැසෙන අතර ඔවුන් ඔහුට ආහාර ගෙනැවිත් දුර සිට කථා කරති.

පොලිසිය ඔහුගේ බයිසිකලයද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය මෙසේ කියා ඇත. … “අපට ඔහුව විශ්වාස කරන්න බැහැ; මහාරාෂ්ට්‍රයේ සිට පාපැදියෙන් කිලෝ මීටර් 1700 ක් ධාවනය කළ හැකි කෙනෙකුට පහසුවෙන්ම මෙතැනින් පැන යා හැකිය”… !

මේ කිලෝමීටර් 1,700 ආවරණය කිරීමට ඔහුට දින හතක් ගත විය, දළ වශයෙන් එය දිනකට කි.මී. 242 කි. පැයකට කිලෝ මීටර් 24 ක වේගයක් තබා ගැනීමට ඔහු මේ සාමාන්‍ය බයිසිකලය මගින් සමත් වී තිබේ. ඔහුට රේසිං වර්ගයේ බයිසිකලයක් තිබුනා නම්, දින තුනකින් ඔහු මේ ගමන යන්නට ඉඩ ඇත. මෙවැනි වීරයන්ට වාහන කුමටද?
ඔහුගේ මාර්ග චාරිකාවේ සිදුවූ, ඔහු කණගාටු වන යමක් තිබේද කියා ඔහුගෙන් යමෙක් අසන ලදී. ඔහුගේ උත්තරය මෙසේ විය.

… “මට අවතාර හමු වන බවට විශ්වාසයක් තිබ්බා ”… ජෙනා පැවසීය. …එහෙත්, මම එක්කෙනෙක්වත් දැක්කේ නැහැ.” … !

More News