Sunday, April 26, 2020

Written on

ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 38,762ක් අත්අඩංගුවට!

මාර්තු විසිවැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 38,762 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස්භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව නවදහස් නවසිය හැත්තෑතුන‍කි.
මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේත් ඇඳිරි නීතිය කඩකරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඇඳිරි නීතිය පවතින අතරවාරයේ අත්‍යවශ්‍ය සේවා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය අසලදී ඊයේ පස්වරුවේ වැලිමඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


එමෙන්ම අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් සහිතව ත්‍රිරෝද රථයකින් සිල්ලර භාණ්ඩ අලෙවි කරන අතරතුර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ කලුතර, පයාගල ප්‍රදේශයෙන්ය.

ඒ අතර පානදුර නිව්ඩාව ඉදිපිල්ලෑව බොල්ගොඩ ගඟ රක්ෂිතයේ ළඳු කැළෑවක නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනයට සූදානමින් සිටි පුද්ගලයෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එමෙන්ම බෙලිඅත්ත වීරසිංහ මාවතේ නිවසක් තුළ ද නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්වුණි.

අදාළ නිවසේ තිබූ ගංජා තවානක්ද විනාශ කිරීමට එහිදී පියවර ගැණුනි.‍

මේ අතර බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් අසළ ජනතාව ඒකරාශී කර කැඳවර්ගයක් බෙදා හැරීමට කටයුතු සූදානම් කළ පුද්ගලයෙක්  ඒ සඳහා උපයෝගී කළ භාණ්ඩද සමඟ ඊයේ පස්වරුවේ බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ කොවිඩ් -19 ව්‍යාප්තිය සමඟ බේරුවල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති පසුබිමක මෙවැනි ක්‍රියාකාරකම්හි නිරත නොවන්නැයි පොලීසිය කළ දැනුම්දීම් වලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්ය.

මේ අතර මෙවර රාමලාන් මාසය තුළ සිදුකරන කාර්යයන් හැකිතාක් සිය නිවෙස් වලට සීමා කරන්නැයි ඉස්ලාම් පූජකවරයෙක් සිදු කරන ඉල්ලීමක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස් බුක් පිටුවේ සදහන් කර තිබුණි.


More News