Sunday, April 26, 2020

Written on

🔥 බාර් වැහුවට මිනිස්සු සැපේ ! - කසිප්පු පරිභෝජනය සියයට 500 කින් ඉහළට

මේ වනවිට මෙරට නීතිවිරෝධ මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය 500% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කපිල කුමාරසිංහ මහතා පවසන්නේ මත්පැන් හල් වසා තැබුවද ජනතාව අතර පෙර පරිදිම මත්පැන් භාවිතය සිදුවන බවයි.

මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසන්නේ ලැබී ඇති එකම ප්‍රතිඵලය රජයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි වීම පමණක් බවයි. සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රජයට වාර්ෂිකව බිලියන ගණනක් ලැබෙන අතර මේ දිනවල එම ආදායම මුළුමනින්ම රජය අහිමි වී තිබේ.

මේ වනවිට නීතිවිරෝධී මත්පැන්, ව්‍යාපාරයක් වශයෙන් සිදු කිරීම මෙන්ම ගෘහාශ්‍රිතව පරිභෝජනය සඳහා නිෂ්පාදනය කිරීමද සිදුවන අතර ඇතැම් පුද්ගලයන් රයිස් කුකර් භාවිතා කරමින් සුළු පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදනය කරන බව ද කපිල කුමාරසිංහ මහතා පවසනවා. මෙම තත්වය මැඩ පැවැත්වීමට නම් සියලු නිවාස පරීක්ෂා කිරීමට සුරාබදු නිළධාරීන්ට සහ පොලිස් නිළධාරීන්ට සිදුවන බව ද ඔහු පෙන්වා දෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට වඩා සීනි සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන බවයි. ඇතැම් පුද්ගලයන් සීනි මිටි ගණන් රැගෙන යන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ තේ බීම සඳහා නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

රජය පසුගියදා මත්පැන් හල් විවෘත කිරීමට තීරණය කළ නමුත් එක් දිනක් තුළදීම එම තීරණය ආපසු හැරවිණි. මත්පැන් හල් වසා තිබුණද දේශීය නිෂ්පාදන භාවිතා කරමින් මිනිස්සු සැපේ සිටිනා බවයි තහවුරු වන්නේ.

More News