Thursday, April 30, 2020

Written on

👀 ඇඳිරි නීතියේ ඇත්ත නැත්ත

ඇඳිරි නීතිය වරින් වර වෙනස් කරන්නෙ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එවන මාධ්‍ය නිවේදනයකිනි. මෙය ඇත්තටම නිත්‍යානුකූලද ? නිරෝධායන පනත වසර සීයකටත් වඩා පරණ පනතක් යැයි කියවෙයි. ඒ කාලෙ විධායක ජනපති තනතුරක්වත් තිබුනේ නැත.

මේ ගැන ඇති එක මතයක් නම් මේ සියල්ල කෙරෙන්නෙ හුදෙක් අපේ හොඳටම නිසා මේ කිසිවක් අදාළ නැති බවයි. ඒ මතයේ ප්‍රශ්න දෙකක් ඇත. මන්ද යත් යම් කිසිවක් කරන චේතනාව ගැන වාස්තවිකව දැන ගැනීමට ක්‍රමයක් නැති වීමයි. ඒ ගැන ඇත්තෙ හුදු විශ්වාසයක් පමණි. සමහර විට අරමුණු කීපයක් ඇතුව එකම කාරිය කළ හැකිය.
උදාහරණ ලෙස 9/11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ patriot act එක සම්මත කරේ හුදු සද්භාවයෙන් බව එදා ඇමරිකානුවන් බොහෝ දෙනා විශ්වාස කරා. එමගින් ඇමරිකාවෙ ඔත්තු සේවාවලට සහ බුද්ධි අංශවලට පුරවැසියන්ගෙ තොරතුරු හොයන්ඩ විශේෂ බලතල ලබා දුන්නා. අද මෙය කරේ හුදෙක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ චේතනාවෙන් සද්භාවයෙන් බවට විශ්වාස කරන අය අඩුයි. මෙයට මාධ්‍යවලින් කරන බ්‍රේන්වොෂ් කිරීමත් බලපානවා.


අනෙක් ප්‍රශ්නය සද්භාවයෙන් වුවත් අනර්ථකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට හැකි වීමයි. මේ ගැනද ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇත (කොමියුනිස්ට් රටවල ක්‍රියාත්මක වූ හැම ප්‍රතිපත්තියක්ම වගේ උදාහරණයක් ඇත්තටම)

අපි හිතමු හයිපොතටිකලි මේ මතය දරන අයගේ ගෙවල් ටිකක් නිරෝධායන කටයුතුවලට පවරා ගන්ඩ තීන්දුවක් ගත්තා කියලා (මෙය සැබෑවක් නොව තනිකරම උපකල්පනයක් පමණි) දැං එහෙම උනොත් ඔවුන් ඒ ක්‍රියාවලියේ නිත්‍යනුකූල බව ප්‍රශ්න නොකර ඉඳීද ? එය ඉතාම සද්භාවයෙන් කරත් (හෝ එසේ කරන බව පෙනුනත්) එතනදි නිත්‍යනුකූලද නැද්ද යන්න වැදගත් වෙන බව ඔවුන් පවා පිළිගනු ඇත. මන්ද එයින් අසමමිතික ලෙස අගතියට ලක් වෙන පාර්ශවයක් සිටින බැවිනි. ඒ ගෙවල් අයිති පිරිසයි.

ඇඳිරි නීතියෙනුත් එසේ අසමමිතිකව අගතියට පත්වෙන පාර්ශවයක් ඉන්නවා. ඒ එදිනෙදා රැකියා කර ජීවත් වෙන පිරිස. ඔවුන්ට හඬක් නෑ. සිවිල් හෝ මුදල් බලයකුත් නෑ. ඔවුන් සමහර විට බහුතර පිරිස වෙන්ඩත් පුළුවන්.

ඒ නිසා යම් තීන්දුවකින් තමන්ට සෘජුව තරමක් දැඩි බලපෑමක් ආවොත් හෝ අගතියක් ඇති උනොත් ඇඳිරි නිතියෙ නිත්‍යනූකූල භාවය ප්‍රශ්න කිරීම ප්‍රශ්න කරන පිරිස උනත් කෝවිඩ් 19 මර්දනයට ගන්න ක්‍රියාමාර්ග නිත්‍යනුකූලද නැද්ද කියා කරදර වෙයි කියා මංනං හිතන්නෙ.

මේ මතයට අනුව හදිසි ආපදා අවස්ථාවල නීතිරීති ආදිය පිළිපැදීම වැදගත් නොවේ. වැදගත් වෙන්නෙ රාජ්‍ය බලය හොබවන පිරිස් තමන් මේකට මුහුණ දෙන්ඩ හොදම විදිය කියා හිතන විදිය අනුව 'මොනව හරි කරලා' ඒකෙන් ගොඩ එන එකයි (එනම් චීන ක්‍රමය) එසේ නම් නීති රීතිවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද ? හදිසි අවස්ථාවල යා හැකි සීමා නීති රීතිවල පනවලා තියෙනවා. ඒ වගේම එතනදී යම් පාර්ශවයකට අගතියක් වීම සහ/හෝ බලය අවභාවිතා වීම වැළැක්වීමටත් සීමා පනවලා තියෙනවා. ඒව සර්ව සම්පූර්ණ නොවෙන්ඩ පුළුවන්. නමුත් ඒව පනවලා තියෙන්නෙ හේතුවක් ඇතිව.

ඇත්තටම මිනිස් සමාජයක නීති රීති, ව්‍යස්ථා ආදිය තියෙන්නෙම මේ නිසා. ඒව පිළිපැදීම වැදගත් වෙන්නෙ මේ නිසා (සමාජයක 'විනය' ඇති කරනවා කියන්නෙ ඇත්තටම ඒකට. නැතුව කියන කියන හැම දේම ප්‍රශ්න කිරීමකින් තොරව එහෙයි කියා පිළිපදින එකට නොවේ විනය කියන්නෙ.) එනම් බලය ඇති පාර්ශවවල තීන්දු තීරණ නිසා සමාජයේ යම් පාර්ශවයක් අසමමිතික ලෙස අගතියට පත් වීම නවත්වන්ඩ. මොකද එහෙම නොවුනොත් බලය නැති පාර්ශවයට කිසිම ආරක්ෂාවක් නැති නිසා.

සාමාන්‍ය භාෂාවෙන් කියන විදියට කැලෑ නීතිය, එනම් බලය ඇති පාර්ශවවල අභිමතය (ඒකෙ ප්‍රතිඵලය කුමක් වුවත්) හොඳින් හෝ නරකින් වෙන එක තමා වෙන්නෙ එවැනි තත්වයක් යටතේ.

ජාතික චින්තනයට අටුවාවක්

More News