Tuesday, April 28, 2020

Written on

👀 ගොසිප්9 ඇස - නිවාඩුවට ගෙදර ආ සෙබළාගේ ඛේදවාචකය

ඉස්සර තමංගේ පුතා හරි සැමියා හරි හමුදාවේ ඉඳලා රාජකාරි නිවාඩු ආවම ඒ අම්මලා, බිරින්දෑලා උගේ යුනිෆෝම් හෝදලා එල්ලුවේ ගේ ඉස්සරහා පාරට පේන්ඩ තියෙන වැටේ.

හැබැයි දැං ඒවා එල්ලන්නේ ගෙයි කුස්සියේ ලිපේ දුම්මැස්ස වටේ.

ඒ කාලේ හමුදාවේ පඩියෙං ඌ යංතං හරි මාස ගනනකිං හරි නිවාඩුවට ආවම ගේ දොර ටික ටික උස් කර ගන්නවා.ලව් ටකල් කර ගන්නවා..හෙමීට හෙමීට කසාදයක් කර ගන්නවා.

නිවාඩුවට එන බස්වල ඉන්න හිඟන්නෝ පවා දන්නවා මුගේ විදිය. ඉතිං ඔය අනුරාධපුර -කොලඹ වගේ බස්සෙකකට නගින හිගන්නෙක් වුනත් පටං ගන්නේ ඉවර කරන්නෙම හමුදා රන ගී වලිං. අනිත් එවුං රුපියල දෙක දෙද්දී මූ අර හමුදා ගතිය පෙන්නන්ඩ අර හිගන්නාට විස්සක් පනහක් දෙනවා.

ගෙදර ආව ගමං මූ අලුතෙං ගත්ත සෙටප් එක ඔන් කරලා ගමටම කං පැලෙන සංගීත සංදර්ශනයක් පවත්තනවා.

ඒ අස්සේ හිච්චි එකා කාලෙ ඉඳං එකට හිටපු, ටික් බෝල ගහපු, කසිප්පු ගහපු, හොරෙං පොල් කඩපු සෙට්ටෙකම එක්ක එකතු වෙලා බෝතල් දෙක තුනක් ගෙනල්ලා මූ හෙන පාටි දෙක තුනක්වත් දානවා.

එතනදී ඉතිං තමං කරපු නොකරපු හපං කං, කාපු කටු ගැන, දුක් අවනඩු පම්පෝරි අඩු වැඩි වශයෙං දෙසාබාලා ඌ හිත සැහැල්ලු කර ගන්නවා.
වෝටර් පෘෆ් වොච් එක, ⁣අලුතෙංම ආව ෆෝන් එක ගැන ඌ උගේ සෙට්එකට කියලා දෙනවා.

ඒ අස්සේ අට පාස් නැති එකා,රස්සාවක් නැති එකා, හිගන්නා, කසිප්පු විකුනන එකාගේ පුතා කියලා මූව නෝන්ඩි කරපු එකෙක් දෙන්නෙක් එක්ක වලියක් දෙකකුත් දා ගන්නවා.
ඔය අතරෙදි , තමංට පිහිට වෙච්ච නෑදෑ හිතවත්තු, ගුරු දෙගුරු සෙට්ටෙක බලන්ඩත් කේක් ගෙඩියක් කාරිය අරං ගිහිං , අර මදාවි කාලෙදි කරපු මරිකං, මදාවිකං අමතක කරලා හැදුනු උගේ විනයගරුකකම පෙන්නලා දන නමලා ඒ අයට වැඳ පුදලාත් එනවා.

නිවාඩු ඉවර වෙලා යනකොට ගෙනා පඩිය බීලා කාලා ඉවරයි. බස් එකේ යන්ඩ සල්ලි නැතුව ටවුන් එකට ඇවිත් අර අලුත්ම ෆෝන් එක කොමියුනිකේෂන් කඩේකට තියලා ගානක් අරං , ටවුන් එකෙත් පොඩි ආතල් එකක් අරං, රංගනයක් කාරියකුත් දාලා තමා මෑන් ආපහු කෑම්ප් එකට යන්නේ.

රනවිරුගාය *කේ ඉඳං ඉස්මුරුත්තාවට එනකල් වගා කරලා තිබ්බ සහ ඒ හරහා මේ සාමාන්‍ය සෙබලා හෙවත් කුලී සොල්දාදුවා රනවිරුවා ලෙස උත්කර්ෂයට පත් කරපු , තමංගේ පටු දේශපාලන අරමුනු වෙනුවෙන් මේ සෙබලාගේ සම්පූර්න ජීවිතය පවා බිලි ගත්තු , සහ ඒ ජීවිත හරහා තමන්ගේ පටු දේශපාලන ව්‍යාපෘති ඉෂ්ට සිද්ද කර ගත් කට්ට, කුහක, කාලකන්නි දේශපාලඥයින්ගේ වග කීම් විරහිත පටු දේශපාලන ව්‍යාපෘති නිසා මේ අහිංසක සොල්දාදුවාට අද ගමට මුහුන දිය නොහැකි තත්වයක් ඇති කර දී තිබේ.

හමුදා සෙබලෙක් දැං සාමාන්‍ය සමාජය දකින්නේ කොරෝනා වෛරසයක් ලෙසය.
සෙබලෙක් නිවාඩු ආ ගමං වටේ පොලිසිවලට , ග්‍රාමසේවකට, පී.එච්.අයි.ට බැරිම වුනොත් අපිට හරි දහ දොලොස් වතාවේ කෝල් කර කර වද දෙන මට්ටමට ඔවුනගේම අසල් වැසියන් පත්ව තිබේ. ඒ ගෙවල් දොරවල් හා පවුල් පාසානකම් සියල්ල නවත්වා දමා තිබේ.

හැබැයි මේ සෙබලුන් ඉස්සරාට දාගෙන , කොරෝනා මර්දනයට අර කඩොල් ඇතාට ගෝනි පඩංඟු ඔතං ගිය වීර සේනාධිනායකයිංට දැං මේ සෙබලු අමතකය.
රනවිරු දඩයං අනං මනං ගැන හීනෙං දොඩවපු මීඩියාකාරයින්ට මුංව රනවිරුවන් නොවේ.

"සෙබබලුන්ට වෛරසය ආසාධනය වුනේ අහවල් ගමේ ලෙඩ්ඩු හොයන්ඩ ගිහිංය..උං උක්කුං බබාලා වගේ කොරන්ටයිං සෙන්ටර්වලටම ඇවිදිං බින්න බැස්සානං මේම වෙන්නේ නැතිය.." වගේ පයිත්තියං ටෝක් දාන එවුනුයි, ආසාධිත සෙබලුන්ටම හමන්නන එවුංගෙයි වෙනසක් නැත.
ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය.

01⁣.මෙ වැනි භයානක වෛරස් ආසාදනයක් මැඩ පැවැත්වීමේ මූලික වගකීම පවරා ඇත්තේ සහ එහි අධීක්ෂන සහ මෙහෙයුම් බලකාය ලෙස පත් කර ඇත්තේ විශේෂයෙන් වෛරස් රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන් , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් සමන්විත අධීක්ෂන බලකායක් සහ උපදේශන බලකායක් වෙතද., නොමැතිනම් ත්‍රිවිධ හමුදාව වෙත ද?

02. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව ගැනවත් දැනුමක් නැති මේ සෙබලුන්ට නිසි පුහුනුවක්, පූර්ව ආරක්ෂන හෝ පසු ආරක්ෂන සැලැස්මක් කිසිවක් නැතුව මේ සෙබලුන් නිරෝධායන රාජකාරී සඳහා යෙදවූයේ කවර නිලධාරීන්ගේ නියෝග යටතේද?

03.දැං මේ සෙබලුන්ට හා ඔවුන් හරහා නැවත වතාවක් වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ හරීම සම්බන්ධයෙන් වග කිව යුතු ඉහල නිලධාරින් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කවරේද?

ඒ අහන්ඩ ඕනැම ප්‍රශ්න ටික අහන්ඩ එක මීඩියාකාරයෙකුට කොන්දක් නැත.
ඇහුවත් ඕවාට හරියට උත්තර දෙන එකෙකුත් නැත.

හෙට දවස ඇතුලත සේවයට වාර්තා කරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නද, ඔවුන් මේ වන විටත් ⁣සිය සේවා ස්ථාන කරා ඇදෙමින් සිටින්නේ කෙසේද යන්න ඔය රනවිරුගාය උඩ දාන නායකකාරකයෝ සහ උංගේ කියමන් අහගෙන මේ වෙනකොටත් ඒ සෙබලුන්ට ගරහන පීශාචයෝ, කුම්භාන්ඩයෝ නොදන්නවා වුවද අපි දනිමු.

(පෙරේදාත් එකට අඩියක් ගසා, අද හවස "අයියේ මං ගිහිං එන්නං" කියලා යාලුවෙක්ගේ මෝටර් සයිකලයක එල්ලිලා වව්නියාව කෑම්ප් එකට යන්න ගිය අල්ලපු ගෙදර මලයාද පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේදී සයිකලය පෙරලීමෙන් අත පය තැරි ගහ ගත්ත බව මේ ලියන මෙහොතේ ආරංචි විය.)

එනිසා තාවකාලිකව ලිවීම නවතමි.

මටනම් මේ එදා යුද්ධය වෙලාවේ සටන් කල සොල්දාදුවාමය. මට ඔහු වීරයකු හෝ දුෂ්ටයකු වන්නේ ඔහුගේ චර්යාව අනුව මිසක ඔහු කරන රැකියාව අනුව නොවේ.

මා මෙන්ම ඔබද ජීවත් වීම සඳහා රැකියා කරන කුලී සොල්දාදුවන් මිස රැකියාවක් කිරීම සඳහා ජීවත් වන මිනිසුන් නොවේ.

- නීතීඥ වසන්ත සිරි වටගොඩ

More News