Tuesday, April 28, 2020

Written on

👀 කොරෝනා අපිට කියා දුන්න පාඩම්

කැළේ තිබුණ නීතිය තමයි ශක්තිවන්තයා ජය ගන්නවා කියන එක. කැළේ ඉන්න මුවා දන්නවා රැළේ වේගය අඩුම සතා මම වුනොත් මට මැරෙන්න වෙනවා කියලා. ඒ වගේම මුවාගේ වේගෙට දුවන්න බැරි වුනොත් කොටියා දන්නවා බඩගින්නේ මැරෙන්න වෙනවා කියලා. කැළේ ශක්තිවන්තයා කොහොමත් ජයගත්තා.

මී මැසි රෑනක නායකයා රැජින. රැජිනට තියෙන්නේ කාලා බීල සැපට ඉන්න. පිරිමින්ට තියෙන් රැජින එක්ක රමණය කරන්න විතරමයි. හැබැයි රැජින එක්ක රමණය කරන්න ලැබෙන්නේ ශක්තිවන්තයට විතරයි.ශක්තිවන්තයා තෝරන්න රැජින කළේ ළඟා වෙන්න බැරි උස තැනකට පියාසර කරන එක. ඒ උස තැනට එන්න පුළුවන් ඇඟේ හයිය තියෙන පිරිමින්ට විතරයි. ශක්තිවන්තයා වැඩ පෙන්නලා උඩටම ඇවිත් රමණය කළා. දුර්වලයා කන්ද උඩට යන්නගිහින් මරණය ළඟා කර ගත්තා. එක්කෝ රමණය නැත්නම් මරණය. (DO OR DIE)

 කැළේ තිබ්බ නීතිය මනුස්ස ලෝකෙට ආදේශ කරපු අපි හිතුවේ මෙහෙත් ශක්තිවන්තයා ජය ගන්නවා කියලා. එත් කොරෝනා තමයි කියලා දුන්නේ ශක්තිවන්තයා නිතරම ජය ගන්නේ නැහැ කියලා. ලෝකේ බලවතා ඇමරිකාව අංක 1 වුනේ කොරෝනා ඉස්සරහා දණ ගහලා. කොවිඞ් 19 එහෙමත් නැත්නම් කොරෝනා තව කියලා දුන්න දේවල් හුගයි.

තාක්ෂණය ගැන පම්පෝරි ගහපු මැජික් මෑන්ස්ලට ලක්ෂ 30 ලෙඩ වෙනකන්, එකෙන් ලක්ෂ දෙකක් මැරෙනකන් මොනවද කරන්න පුළුවන් වුනේ? අත් සෝදන්න,මීටරයක් දුරින් ඉන්න,ගෙදර ඉන්න කියලා විතරයි තාම තාක්ෂණයෙන් පරතෙරට ගිය ලොක්කොත්  කියන්නේ. බ‍්‍රසීලයේ ජනපති බොල්සොනාරෝ කිව්වේ කොරෝනා කියන්නේ ”පුංචි හෙම්බිරිස්සාවක්” කියලා.ඒ පුංචි හෙම්බිරිස්සාවට අපි තාම කොත්තමල්ලි වෙනිවැල් ගැට බොනවා.




කොරෝනා තමයි කියලා දුන්නේ තාක්ෂණය මාර දියුණුයි කිව්වට දියුණුම නැහැ කියලා. (ඉන්න පොඩ්ඩක්  බොල්සොනාරෝ ඔයාගේ පුංචි හෙම්බිරිස්සාවෙන්  බ්‍රසීලයේ කී දෙනෙක් මැරිලද කියලා  WORLDOMEETER එකෙන් බලලා කියනකන්. බොල්සොනාරෝ ඔයාගේ පුංචි හෙම්බිරිස්සාවෙන් දැනට 63,100 ලෙඩ වෙලා 4,286 මැරිලා )
ඒ විතරද රජෙක් වුනත්  ලෙඩෙක් වෙනවා කියලා ඔප්පු කළේ කොරෝනා. ත‍්‍රස්තවාදය අවසන් කරන්න හමුදාව ඉස්සරහට ආවට,වසංගත අවසන් කරන්න රෝග විශේෂඥයන් ඉස්සරහට එන්න  ඕන කියලා ඔප්පු කළේ කොරෝනා. හමුදා පාලනයක් ඉල්ලපු උන් නාවික හමුදාවේ කොල්ලෙක් ගමට ආවම පොලීසියට ඔත්තු දෙන හැටි බලාගන්න පුළුවන් වුනේ කොරෝනා නිසා.
 
තව කොරෝනා කියලා දුන්න දේවල් තියෙනවා. සුරතල් සත්තු කියලා ජාතියක් ඉන්නවා කියලා චීනෙට කියලා දුන්නේ කොරෝනා. පීසා,සබ්මැරීන්,හොට් ඩෝග් කාපු උන්ට කඩල මුං ඇට කව්පි හඳුන්වලා දුන්නේ කොරෝනා. හවසට අඩියක් ගහන උන්ට හවසට කොත්තමල්ලි බොන්න පුරුදු කළේ කොරෝනා. ගහක් කොලක් හිටවපන් කියලා බල කරේ කොරෝනා. මළ ගෙදරක ගිහින් එනකොට වුනත් කහ වතුරෙන් අත පය හෝදගන්න පුරුද්දක් අපිට තියෙනවා කියලා මතක් කරලා දුන්නේ කොරෝනා.

ඉස්කෝලෙදි වත් පෝලිමේ හිටපු නැති උන් පෝලිමේ තිබ්බේ කොරෝනා.

බුක් ෆෙයාර් ගිහින් ගත්ත පොත් ගොඩෙන් පොතක් දෙකක් හරි කියවන්න අවස්ථාව දුන්නේ කොරෝනා. යු ටියුබ් වල කුණු රස හොයපු උන්ට ෆිල්ම් එකක් බලන එකේ ආතල් එක දුන්නේ කොරෝනා. කුඹුරු 02 ක 03 ක් අස්වද්දපු උන්ට එක කුඹුරක් අස්වද්දන්න පුරුදු කළේ කොරෝනා. ගංජා උනත් තනියම ගහපං කිව්වේ කොරෝනා. කසිප්පු මාර්කට් කරලා අපේ දේ ගන්න පුරුදු කළේ කොරෝනා. පරණ යාළුවෙකුට කෝල් එකක් දීලා මචං කොහොමද අහන්න විවේකයක් දුන්නේ කොරෝනා.

නිවුස්වල නිතර දැක්ක කාඩ් බෝර්ඩ් දේශපාලූවෝ වෙනුවට සැබෑ වීරයෝ මාධ්‍ය ඉස්සරහට ගත්තේ කොරෝනා. තමන්ගේම කියලා ගෙයක් දොරක් නැති වුනත් තමන්ගේම කියලා පිඟානක් කෝප්පයක් තියෙන්නේ  ඕන කියලා මතක් කළේ කොරෝනා.

මහින්දගේ බලයට තියෙන කෑදරේ ඉවර වෙන එකක් නෙමෙයි කියලා ඔප්පු කළේ කොරෝනා. සජිත් ජනාධිපති වුනා නම් කියන බය හොඳටම දැනුණේ කොරෝනා නිසා.

වැඩ බැරි උනත් තියරි හොඳටම දන්නේ රනිල් තමයි කියලා හිතුණේ කොරෝනා නිසා.
ඔය ඔක්කොම අස්සේ හිතට  සැනසීමක් ආවේ සිරිසේන වගේ තව නායකයින් ලෝකේ ඉන්නවා කියලා දැනුන නිසා. කොරෝනා තමයි මතක් කරලා දුන්නේ සිරිසේන මහත්තයාගේ සහෝදරයෙක් ඇමරිකාවේ ජනාධිපති කියලා. මේක සමාජ මාධ්‍ය ජාලාවක ගියෝතින් මළ ජංජාලයක් වෙලා මාවත් හිරේ දායි කියලා මට මතක්ක රලා දුන්නේ DIG අජිත් රෝහණ හීනෙන් පෙනිලා.

ගිහාන් කාලිංග

More News