Friday, April 24, 2020

Written on

ගොඩහේවාගේ මතේ වැදගැම්මක් නෑ - ආණ්ඩුවට එන්න ඕනෑ නම් වැඩ කළයුතු හැටි බන්ධුල කියාදෙයි

විදෙස් විනියම නීති ලිහිල් නීති කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ තරම් මුදල් ප්‍රමාණයක් මෙරටට ගලා නොඑනු ඇති බවට වියත්මග සාමාජික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාලක ගොඩහේවා මහතා ඉදිරිපත් කරන මතය රාජ්‍ය පාලනයේදී කිසිදු වැදගත්කමක් ඇති එකක් නොවන බවත් ඉදිරියේදී ඔහු ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඔහු කළ යුතුව ඇත්තේ ආණ්ඩුව විසින් විවෘත කළ නව ගිණුමට විදෙස් මුදල් පැමිණේවායි ප්‍රාර්ථනා කිරීම බවත් කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"නෑ, නාලක ගොඩහේවා මහත්මයා කියලා තියෙන ප්‍රකාශය මම නාලිකාවක කන්දීලා බැලුවා, එතුමා බොහෝම කියනවා ඒ කියන්නෙ එතුමාගෙ පුද්ගලික මතය කියලා. දැන් මටත් තියෙනවා පුද්ගලික මතයක්.

නමුත් මමත් රමේෂ් පතිරණ මැතිතුමාත් මෙතන ඇවිත් කියන්නෙ අපෙ පුද්ගලික මතය නෙවෙයි. අපට විවිධ පුද්ගලික මත තියෙනවා. ඒවා රාජ්‍ය පාලනයෙදි කිසිම වැදගත්කමක් තියෙන එව්වා නෙවෙයි.

ඉතිං එතකොට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ ගිණුමක් විවෘත කරලා තිබෙනවා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් තියෙන අයට මේ ගිණුමෙ තැන්පත් කරන්න. රජය ඉල්ලීමක් කරලා තියෙනවා අපට ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙන නිසා මාස හයක් මේ ගිණුමෙ තිබුණාම සාමාන්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා සීයට දෙකක් වැඩිපුර ගෙවනවා කියලා.

මේ ගන්න ප්‍රතිපත්තිමය තීන්දු ගන්න ඕනෙ ඒ සියල්ල සීයට සීයක් හරියනවා කියලා හිතාගෙන නෙවෙයි අපි මේ තීරණ ගන්නේ ආර්ථිකයේ. ඉතිං එතුමා කළයුතු වෙන්නේ රජයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රජය කියන ප්‍රතිපත්තිය, මේ අලුත් ගිණුමක් ආරම්භ කළාම එයට මුදල් පැමිණෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම තමයි කළ යුත්තේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.


More News