Tuesday, May 27, 2014

Written on

විමල් වීරවංශත් ජනාධිපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධයෙන් කළකිරෙන විපක්ෂය විසින් ඡන්දයට ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජයග‍්‍රහණය යා නොදී රැකගැනීම සඳහා අපේක්ෂකයකු වශයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සමුළුව තුළදී රට ගොඩනැගීම සඳහාවූ කරුණු දොළහකින් යුත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් එළිදැක්වීම එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මහනායක හිමියන් ඇතුළු ආගමික නායකයන්ට පිළිගැන්වීම, උතුරු යුද්ධයේ විජයග‍්‍රහණ සැමරුම වෙනම පැවැත්වීම, ආණ්ඩුවේ කටයුතු විවෘතව බරපතළ ලෙස විවේනය කිරීම, ආණ්ඩුවට පක්ෂව පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පෙනී නොසිටීම ආදිය ඒ සඳහා සූදානම්ව කරන කි‍්‍රයාකාරකම් බවද දැනගන්නට ඇත.

සිය පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගැන්වීම සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් හමුවූ අවස්ථාවේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළහොත් කරන්නේ කුමක්දැයි විමසා ඇති අතර එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජාතික බලවේග සමග අලූත් ගමනක් යන බවය.

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පවුලට සමීප ආරංචිමාර්ග ප‍්‍රකාශ කරන්නේ ඔහුගේ මේ වෙනස්වීමට ජනාධිපතිවරයාගේ න්‍යාය පත‍්‍රයට අමතරව ජ්‍යොතිෂ්‍යඥයන් විසින් ප‍්‍රකාශකරන ලද අනාවැකිද බලපා ඇති බවත්, අමාත්‍යවරයාගේ කේන්දරය අනුව ඔහුට රාජයෝගයක් ඇති බවට අනාවැකි ප‍්‍රකාශ කර ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

More News