Thursday, May 29, 2014

Written on

88-89 ඝාතනවලට ජවිපෙ සමාව ඉල්ලයි !

මීට වසර 25 කට ඉහත එනම් 1989 -90 ධවල භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද 6000කට අධික ඝාතන වලට ජනතාවගෙන් සමාව අයදින බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ මධ්‍ය ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින්, මාධ්‍යවේදී සරෝජ් පතිරණ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

තම පක්ෂය 1983 වසරේ එවක පැවති එජාප රජය විසින් තහනම් කිරීමෙන් අනතුරුව අවසානයේ අවි අතට ගැනීම දක්වා සිදුවීම් වර්ධනය වූ ආකාරය පිළිබඳව පැහැදිලි කර දී ඇති ජවිපෙ නායකයා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් තම ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කර සිටියේය.


මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකු පවසා සිටියේ ‘ජනතා විමුක්ති පෙරමුණ වසර 25 කට පසුව හෝ තමන් අතින් සිදුවූ ඝාතන සඳහා සමාව ඉල්ලීම ඉතා සාධනීය කරුණක් බවත් නැවත එවැනි තත්වයක් උද්ගතවීම වැළැක්වීමේ හොඳම පියවර එය බවත්ය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද මීට පෙර භීෂණ සමයේදී ජවිපෙ අතින් මනුෂ්‍ය ඝාතන සිදුවූ බව පිළිගත් නමුත් ඒ පිළිබදව කණගාටුව පළ කිරීමක් හෝ සමාව අයැදීමක් නොකළේය.

More News