Monday, April 7, 2014

Written on

කණ්ඩායම පැය තුන හතරක් සින්දු කිවුවා

විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය හෝටල් කාමරයේදී ගීත ගයමින්, විනෝද වෙමින් ජයග්‍රහණය සැමරූ බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.

ශූරතාවලියේ මුල පටන්ම කණ්ඩායම ඉතා සමගියෙන් එකමුතුව ක්‍රීඩා කළ බව බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට Gossip9 සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළ මයිකල් ද සොයිසා, කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව එය බවද සඳහන් කළේය.

ජයග්‍රහණයෙන් අනතුරුව කණ්ඩායමට තහනම් උත්තේජක පරීක්ෂණයට සහභාගි වීමට සිදු වූ බව ප්‍රකාශ කළ කළමනාකාරවරයා, ඉන් අනතුරුව කණ්ඩායමේ සියලු සාමාජිකයන් තමන් නැවතී සිටි හෝටලයේ තමාගේ කාමරයට රැස් වූ බවද පැවසීය.

" ඊට පස්සේ පැය තුන හතරක් සින්දු කිවුවා. ජොලි කෙරුවා, " යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

විස්සයි විස්ස පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් සකස් කොට තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

චන්දිමාල්ට කණගාටු ඇති

අවසාන පන්දු ඕවර හතරේදී ඉන්දීය කණ්ඩායම රැස් කිරීමට සමත් වූයේ ලකුණු 15 ක් පමණක් බව පෙන්වා දෙන ඔහු, විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන දායකත්වය දැක්වූයේ පන්දු යවන්නන් බවද සංදේශයට කියා සිටියේය.

කණ්ඩායම ඉන්දියාවට එරෙහි සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කළ බවයි, මයිකල් ඩ් සොයිසා පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය කරා පිටත්ව යන විට නායකත්වය දැරුවේ දිනේෂ් චන්දිමාල් වුවත් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූවේ ලසිත් මාලිංග විසින්.

ඒ පිළිබඳව දිනේෂ් චන්දිමාල් කනගාටු වූයේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් මයිකල් ද සොයිසා කියා සිටියේ පැහැදිලිවම ඔහුට කණගාටුවක් ඇතිවන්නට ඇති නමුත් ලෝක කුසලානය දිනා ගැනීම උදෙසා කණ්ඩායම වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඔහුට සිදුවන්නට ඇති බවයි.

අන්තිමට කණ්ඩායම ජයග්‍රහණය ගත්තනේ? දිනුවේ නැත්නම් ඒක අසාධාරණයක් කියල අපිට කියන්න පුළුවන්, " යනුවෙන් ඔහු සඳහන් කළේ එය අසාධාරණ තීන්දුවක් විය හැකි නොවේදැයි සංදේශය කළ විමසීමට ප්‍රතිචාරය පළ කරමින්.

More News