Wednesday, April 30, 2014

Written on

වසුගේ වෙස් මාරුව !

කැසිනෝ මත පදනම් වූ ආර්ථික රටාවකට විරුද්ධ නමුත් කැසිනෝ ක්‍රීඩාවට තමාගේ විරුද්ධත්වයක් නැති බව ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

ගොසිප්9 සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඒ බව සඳහන් කළ ඔහු, කෙසේ නමුත් පසුගිය සතියේ සම්මත කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත මගින් කැසිනෝ විවෘත කිරීමට අවසර දී නැති බව අවධාරණය කළේය.


" කැසිනෝ බලපත්‍රයක් දෙනවට මගේ විරුද්ධත්වයක් නෑ. මම සුචරිතවාදියෙක් නෙවෙයි. නමුත් සූදු කෙලින ආර්ථිකය මූලික කරගන්නවට මම විරුද්ධයි, " යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය. 


සූදුව පදනම් කරගත් ආර්ථිකයක් මගින් රටක ආර්ථිකය ප්‍රපාතයට යන බව පවසන අමාත්‍ය නානායක්කාර, නීත්‍යානුකූලව කැසිනෝ බලපත්‍ර ලබා දෙන්නේ නම් එය විදේශ විනිමය පාලනයකට යටත් කොට, ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ සූදුවට සම්බන්ධ විය නොහැකි බවට නීති සම්පාදනය කළ යුතු බවද සංදේශයට කියා සිටියේය. 


විරුද්ධයි, ඒත් ඡන්දය පක්ෂව
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කොට යලි පාර්ලිමේන්තුව විධායක බලතල ලැබෙන ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.

ව්‍යවස්ථාව සංශෝධනය කොට, මහ මැතිවරණයක් පවත්වා, විධායක අගමැතිවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමට තමන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව ඇමතිවරයා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම්, "ඒකාධිපති බලතල හිමිවන" බව පැවසෙන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය දුන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, පාලක සන්ධානයේ බෙදීමක් වලක්වා ගැනීම පිණිස එදා සිය ඡන්දය භාවිතා කළ බවයි.


" ඉල්ලා අස් වුනා නම් අපේ අරමුණ ඉටු කරගන්න බෑනේ, " යනුවෙන් ඔහු කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම් පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහුට හැකියාව තිබුනා නොවේ දැයි සංදේශය විමසූ අවස්ථාවේ.

More News