Sunday, April 20, 2014

Written on

MH370 සෝදිසි මෙහෙයුම තීරණාත්මක සංධිස්ථානයක

පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොයා දකුණුදිග ඉන්දීය සාගරයේ සිදුකරන මෙහෙයුම ඉදිරි දින දෙක තුළදී තීරණාත්මක සංධිස්ථානයකට පැමිණෙනු ඇති බව මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියි.

හිෂාම්මුද්දීන් හුසේන් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලබන සතියේදී සාගර පතුලේ සිදුකරන රොබෝ සබ්මැරීන මෙහෙයුම අවසන් වන බවය.

කෙසේ වෙතත්, බ්ලූෆීන් 21 රොබෝ සබ්මැරීනය මේ වනවිට මෙහෙයුම් හයක් සිදුකර තිබුණද, මේ වනතෙක් ඒ වෙත අතුරුදන් යානයේ කිසිදු සලකුණක් හමු නොවී ඇති බවද කියැවෙයි.


මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් කරමින් සිටියදී පසුගිය මාර්තු මස 8 වැනිදා අතුරුදන් වූ මෙම යානය ලෝක ඉතිහාසය උඩු යටිකුරු කළ ගුවන් අනතුරක් විය.

ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ලැබුණු බවට විශ්වාස කෙරෙන සංඥා පදනම් කර ගනිමින් අදාළ සාගර කලාපයේ වර්ග කිලෝමීටර් 10ක අරයකින් යුතු කලාපයක් බ්ලූෆින් 21 රොබෝ සබ්මැරීනය විසින් සෝදිසි කරමින්, එම කාලපයේ සාගර පතුල සිතියම්ගත කිරීමක් සිදුකරමින් සිටියි.

මෙහෙයුමට සම්බන්ධ බලධාරීන් පෙන්වා දෙන පරිදි මේ වනවිට අඩි 13,000ක් පමණ ගැඹුරු සාගරයේ අදාළ රොබෝ සබ්මැරීනය විසින් සිතියම්ගත කිරීම් සිදුකරනු ලබයි.

මේ වනවිට එම කලාපයේ සෑහෙන කොටසක සාගර පතුල සිතියම්ගත කිරීම් අවසන් වෙමින් සෝදිසි කලාපය ක්‍රමයෙන් කුඩා වීම තුළ ඉදිරි දින දෙකේදී මෙහෙයුම් වඩාත් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණෙනු ඇති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියි.

ඔහු වැඩිදුටත් ඉල්ලා සිටින්නේ එළැඹෙන දින කිහිපයේදී සුබදායී ප්‍රවෘත්තියක් වෙනුවෙන් යාඥා කරන ලෙසය.





More News