පසුගිය 12 දා වවුනියාවේ මාන්කුලමේ වත්තක් සුද්ද කරද්දී හමු වූ මිනිස් සිරුරක ඇට සැකිලි කොටස් පසුගිය වසරේ අතුරුදහන් වූ කාර්තිකේසන් නිරූබන් නම් විද්‍යා ගුරුවරයාගේ බව ඔහුගේ සොයුරියක විසින් හඳුනාගෙන තිබේ.
ඇට කැබලි සමග හමුවූ ඇඳුමක කොටස් වලින් ඒ තම සොහොයුරා බව හඳුනාගෙන ඇත්තේ කාර්තිකේසන්ගේ සොයුරියක වූ සිවකාරන් නිස්තිකා විසිනි.
මාන්කුලම්හි 225/226 කිලෝ මීටර් කණු අතර වත්තක තිබී මෙම ඇට සැකිලි කොටස් හමුවී තිබුනේ මාර්තු 12 දා බදාදා ය. සොයුරිය විසින් පසුදා 13 දා බ්‍රහස්පතින්දා තම සොයුරාගේ ඇඳුම් කොටස් හඳුනාගත්තා ය.
38 හැවිරිදි කාර්තිකේසන් නිරූබන් යාපනයේ කෝපායිහි වැසියෙක් වන අතර වවුනියාවේ නෙරියකුලම්හි පිහිටි අල් අමීයා මුස්ලිම් මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියේ ය. වවුනියාවේ කාමරයක් කුලියට ගෙන සිටි නිරූබන් එහි සිට දිනපතා පාසැල් ගියේ පා පැදියකිනි.
ඔහු අවසන් වරට දුටුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 19 වෙනිදා ය. ඔහුගේ පා පැදිය වවුනියාව බස් නැවතුම අසල පිහිටි වවුනියාව නගර සභාවට අයත් පා පැදි නැවතුමේ නවතා තිබූ නමුත් නිරූබන් අතුරුදහන් විය.
ඔහු අවසන් වරට දුටුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 19 වෙනිදා ය. ඔහුගේ පා පැදිය වවුනියාව බස් නැවතුම අසල පිහිටි වවුනියාව නගර සභාවට අයත් පා පැදි නැවතුමේ නවතා තිබූ නමුත් නිරූබන් අතුරුදහන් විය.
මේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ උදවිය සැප්තැම්බර් 28 වෙනිදා වවුනියාව පොලිසියට පැමිණිලි කළ අතර එහි අංකය වූයේ සීඅයිබී 141/446 වේ.
ඔව්හු මානව හිමිකම් කොමිසම වෙතද පැමිණිලි කර සිටියහ. තම සාමාජිකයාගේ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විසින් වවුනියාවේ දී දැවැන්ත උද්ඝෝෂණයක් ද කළේය.