Thursday, March 6, 2014

Written on

වනාතේ සුනිල්ට දැන් ජීවිත තර්ජන !

පසුගියදා සුදුවෑන් රථයකින් පැහැරගෙන යළි මුදා හැරි  “වනාතේ සුනිල්” නොහොත් සමරධීර සුනිල් නැවත ජනතාව අතරට පැමිණියද ඔහුගේ ජීවිතයට මේවන විට තර්ජන එල්ල වී ඇතැයි කියමින් ජවිපෙ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා මගින්, මානව හිමිකම් කොමිසමට අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පැහැර ගැනීමට ලක්වූයේ පසුගිය පෙබරවාරී 15 වැනදා වන අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැති බවද අදාල පැමිණිල්ලෙන් දක්වා ඇත.

තම නිවාස කඩා ඉවත් කිරීමේ සිද්ධියකට අදාළව ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදුවූ වචන හුවමාරුවකින් පසුව මේ තත්ත්වය ඇතුවූ බවටද සුනිල් චෝදනා කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ සමරධීර සුනිල්ගේ පැහැර ගැනීම ගැන සැකයක් ඇති බවයි.

මෙම පැහැර ගැනීම සිදුකළේ එම ප්‍ර‍දේශයේම පිරිසක් බවට රාවයක් නැඟුවද ආරක්ෂක අංශ මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති බවද ඔහු පැවසීය.

එසේම සුනිල්ගේ නිවස ආසන්නයේ නාදුනන පුද්ගලයින් සැරි සරණ බවද මේ නිසා ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවද වටගල මහතා කීවේය.

මේ නිසා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් එම කොමිසමෙන් හෝ මෙයට සාධාරණයක් බලාපො‍රොත්තු වන බවද ඔහු කියා සිටියේය.

More News