Monday, March 17, 2014

Written on

විහාරාධිපතිට පිහියෙන් ඇන්න සාමණේර හිමි අත්අඩංගුවට

ඇල්පිටිය ඉගල ශ්‍රී සරණංකර විහාරාධිපති ශාස්ත්‍රපති වෑත්තෑවේ පඤ්ඤාකීර්ති හිමියන්ව කපා කොටා මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම සිටි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 

දහඅට හැවිරිදි එම සාමණේර හිමිනම විහාරස්ථානයේම වූ පිහියකින් විහාරාධිපති හිමියන්ව කපා කොටා මරණීය තුවාල සිදු කළ බවට පොලිසියට පාපෝච්චාරණයක් කළ බව පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන්ට තුවාල සිදු කළ බව කියන පිහියද විහාරස්ථාන භූමියේ කොටයක් උඩ තිබී පොලිසිය සොයා ගෙන ඇත. සැකකාර සාමණේර හිමිනම අද ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බරපතළ තුවාල ලැබූ විහාරාධිපති හිමියන්ට සැත්කමක්ද සිදු කර ඇති අතර උන්වහන්සේගේ තත්ත්වය ඉතා බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක බී. ඒ. රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විදානගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

More News