Sunday, March 2, 2014

Written on

රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික - වෛද්‍ය පාදෙණිය

රජරට වකුගඩු රෝගය යැයි සමහරුන් විසින් හැඳින්වුන මේ රෝග තත්වය පිළිබඳ ව විමර්ශනයක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ කෘෂි රසායනික භාවිතය සහ මෙම රෝග තත්වය අතර සම්බන්ධතාවක් තිබෙන බවයි.

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් හැදෙන වකුගඩු රෝගයට වඩා වෙනස්ව හැදෙන වකුගඩු රෝගය මුලින්ම රජරට ප්‍රදේශයේ බහුලව පැතිරෙන්නට වූ හෙයින් එය රජරට වකුගඩු රෝගය යැයි මුලදී හැඳින්වු බව ඒ පිළිබඳව හොයා බැලු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය Gossip9ට කියා සිටියේ ය.

පළමු වතාවට 1993 දී මෙම වකුගඩු රෝගියෙක් හොයා ගත් අතර මුල් දශකය තුල ප්‍රදේශයේ ජනතාවගෙන් සීයට දෙකකට පමණක් වැළදුන මේ රෝගය ඊළඟ දශකය තුළ සීයට පහළොවකට වැළඳී තිබුණ බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසීය.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම කෘෂි රසායනික භාවිතා කරන රට බවට පත් වී ඇති බවත් හෙක්ටයාරයකට ඒකක 284 තරම් ඉහළ අගයක් පමණ භාවිතා වෙන බවත් බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පෙන්වා දුන්නේය.

යාබද රටවල් හෙක්ටයාරයකට ඒකක දහයත් දොළහත් අතර ප්‍රමාණයක් භාවිතා කරන අතර වාරේ කෘෂි රසායනික භාවිතා කිරීම අතින් දෙවෙනි තැන ගෙන සිටින බංග්ලාදේශය හෙක්ටයාරයකට ඒකක 164 ක් පමණ භාවිතා කරන බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කළේ.

පර්යේෂණ නිබන්ධයක්
කෘෂි රසායනික භාවිතය සහ රෝගය ඇතිවීම අතර සම්බන්ධය විද්‍යාත්මක ව තහවුරු කොට එම සොයා ගැනීම් පර්යේෂණ නිබන්ධයක් සේ පළ කොට ඇති බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසීය.

1960 දශකයේ දී ශ්‍රී ලංකාව කෘෂි රසායනික භාවිතා කිරීම ආරම්භ කළ අතර එතැන් සිට වසර දහයක් පහළොවක් ගෙවී ගිය තැන රෝගය ඉස්මතු වෙන්නට පටන් ගත් බවත් මෙහි දී කෘෂි රසායනික භාවිතාව පිළිබඳ ව ගත යුතු ක්‍රියා මාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රජය වෙත නිර්දේශ කොට තිබුනත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යංශ නිසි ක්‍රියා මාර්ග නොගත් හෙයින් කළ තම සංගමය මෙම කටයුත්තට මැදිහත් වූ බව රජයේ වෛද්‍ය නිලධාරියන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියේ ය.

මෙම වකුගඩු රෝගය නිරීක්ෂණ රෝගයක් ලෙස නම් කිරීම,කෘෂි රසයාන ආරක්ෂාකාරීව භාවිතා කිරීමට කටයුතු කිරීම සහ කෘෂි රසයාන භාවිතාව අඩු කිරීම ඇතුළු යෝජනා දොළහක් තමන් රජය වෙත භාර දුන් බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

More News