Thursday, February 6, 2014

Written on

ඔත්තු සේවා කල ඉල්ලීම් හෙළිකරන්නට අන්තර්ජාල සමාගම්වලට අවසර

තම පාරිභෝගිකයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස පසුගිය කාලය තුළ ඇමරිකානු රජයෙන් සිදුකළ ඉල්ලීම් පිළිබඳ තොරතුරු හෙළිදරව්කිරීමට ඇමරිකානු තාක්ෂණික සමාගම් වලට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.

මේ අනුව ෆේස්බුක්, ලින්ක්ඞ් ඉන්, යාහූ, ගූගල් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම් තමන්ගෙන් සිදුකෙරුණු ඉල්ලීම් පිළිබඳ ඇතැම් කරුණු හෙළි කර ඇත.

ඇපල් සමාගම පසුගිය සතියේදී මේ හා සමාන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානු නීතිපති එරික් හෝල්ඩර් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දක්වා ඇත්තේ සන්නිවේදන ආයතනයන් වෙත ඉදිරිපත් කෙරුණු ජාතික ආරක්ෂක ආඥාවන් සහ ඉල්ලීම් සංඛ්‍යාව, ඒවා බලපෑ පාරිභෝගික ගිණුම් සංඛ්‍යාව සහ අදාළ නෛතික පදනම් පිළිබඳ හෙළිකිරීමට අවසර ලබාදුන් බවයි.

මෙතෙක් රහසිගතව පැවති මෙම තොරතුරු තවදුරටත් රහසිගතව පවත්වාගෙන යාමට ඇති ජාතික ආරක්ෂක අවශ්‍යතාවන්ට වඩා ජනතා අවශ්‍යතාව බලවත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි දක්වා තිබේ.

සමාගම් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දක්වා ඇත්තේ එඞ්වඞ් ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළදරව්කිරීම් වලට පසුව තමන් පිළිබඳ බිඳී ගිය පාරිභෝගික විශ්වාසය දිනාගැනීම සඳහා මෙයට අවසර දෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ බවයි.

කෙසේ වෙතත් නව ඉල්ලීමක් පිළිබඳ තොරතුරු හෙළිකළ හැක්කේ වසර දෙකකට පසුව බව පැවසේ.

More News