Sunday, February 2, 2014

Written on

කිරි පිටි මිල වැඩි කිරීමද විසඳුම?

කිරි පිටි මිල වැඩි කිරීමට ඉඩ දුන්නේ ලෝක වෙළඳපොළේ මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් යයි සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය කියා සිටී.

කිරි පිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද කිලෝවක මිල රුපියල් 152 කින්ද වැඩි කෙරෙන බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිපුණ ඒකනායක Gossip9 හට පැවසීය.

කිරි පිටි නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කරන සමාගම් රුපියල් දෙසීය පනහත් පන්සිය හතළිහත් අතර වූ ප්‍රමාණයකින් මිල වැඩි කිරීමට ඉල්ලා සිටියත්, ඊට ඉඩ නොදුන් බව මාධ්‍ය ප්‍රකාශක නිපුණ ඒකනායක කියා සිටියේය.

කිරි පිටි නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන සමාගම් පුරා මාස විස්සක් තිස්සේ මිල වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එම අවසරය ලබා නොදුන් බව කී නිපුණ ඒකනායක, ලෝක වෙළඳපොළේ කිරි පිටි ටොන් එකක් ඇමරිකානු ඩොලර් 5,200 ක් දක්වා වැඩි වී ඇති අතර, මීට පෙර අවසන් වතාවට කිරි පිටි මිල වැඩි කළ අවස්ථාවේ දී කිරි පිටි ටොන් එකක් ඇමරිකානු ඩොලර් 3,700 කට මිල දී ගත හැකිව තිබුණු බව පෙන්වා දුන්නේය.

විසඳුම කුමක්ද?
මේ අනුව පාරිභෝගිකයාට සාධාරණත්වය ඉටු වෙන පරිදි මෙවර මිල වැඩි කිරීම සිදු කොට ඇතැයි සමුපාකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිපුණ ඒකනායක කියා සිටියේය.

ආනයනය කරනු ලබන කිරි පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අධිකරණයට ගිය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය Gossip9 හට කියා සිටියේ, මිල වැඩි කිරීම ගැට‍ළුවට විසඳුමක් නොවන බවයි.

දියර කිරි දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් කිරි පිළිබඳ පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ කර ගත යුතු බවයි සමන් රත්නප්‍රිය පෙන්වා දෙන්නේ.

කිරි පිටි සමාගම් එල්ල කළ පීඩනය හේතුවෙන් මිල වැඩි කිරීමට ආණ්ඩුව අවසර දුන් බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

More News