Thursday, February 27, 2014

Written on

විසම්මුතියට ඉඩ තිබෙනවා - හුලා

අදහස් පළ කිරීම මැඩලීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක Gossip9 හට ප්‍රකාශ කළේය.

සාධාරණත්වය ඉටු කර ගැනීමට සඳහා මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් නගන හඬ යටපත් කෙරෙන වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන බව පවසමින් ඇම්නස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් පිළිබඳව කරුණු දැක්වූ මොහාන් සමරනායක කියා සිටියේ, විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් කණ්ඩායම් වලට රජය විවේචනය කිරීමට ඉඩ ලැබී ඇති අතර තවත් කණ්ඩායම් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරය වෙත කරුණු දැක්වීමට සුදානම් වෙමින් සිටින බවයි.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නව නීදන් පිල්ලෙයි වාර්තාව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි කී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක රට තුළ මර්ධනකාරී පිළිවෙතක් ක්‍රියාත්මක වේ නම් මෙවැනි දේ සිදු වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ආණ්ඩුව දිගින් දිගටම අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම් පත් කළත් ඒ පිළිබඳ ව වාර්තා ප්‍රසිද්ධ නො කිරීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය නගන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට මොහාන් සමරනායක කියා සිටියේ යුද්ධය හමාර වී තවමත් ගෙවී ඇත්තේ පස් වසරකත් තරම් අඩු කාලයක් බවයි.

එම කාලය තුළ රජයට එකවර ප්‍රශ්න රාශියක් සමග පොර බැදීමට සිදු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.

ඉහත කරුණු විභාග කිරීම සඳහා කොමිසමක් පත් කළ අතර දැන් අලුතින් පත් කොට ඇති කොමිසම අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විභාග කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දීර්ඝ යුද්ධයක් නිමාවේ ඉතිරි වෙන දුෂ්කර ගැට‍ළු විසඳීම සඳහා කාලයක් ගත වෙන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක වැඩිදුරත් කියා සිටියේය.

More News