Friday, February 14, 2014

Written on

ගෝඨා නීති කඩා ගම්මන්පිලට කඩේ යයි !

නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රසිද්ධියේම මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, එජනිස කොළඹ කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප්‍රචාරක ආරම්භක රැස්වීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බරපතල කාරණයක් බව එජාප සන්නිවේදන අංශ ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු එසේ සහභාගී වූවා පමණක් නොව, ගම්මන්පිලට ගියවරට වඩා මනාප තුන් ගුණයක් ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිබව මන්ත්‍රීවරයා පැවසිය.

අද මාතර එජාප ප්‍රධාන කාර්යාලයේ පැවති මාතර ආසනයේ බලමණ්ඩලය අමතමින් ඔහු එබව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිගේ මල්ලී වූවාට නිලයෙන් රාජ්‍ය සේවකයෙකු බවත්, අමාත්‍යාංශ ලේකම් ධූරයක් යනු රාජ්‍ය සේවයේ ඉහලම තනතුරක් බවත් පැවසු සමරවීර මහතා, එවැනි රාජ්‍ය නිලධාරියෙකුට මැතිවරණයක නාම යෝජනා කැඳවා තිබියදී ප්‍රසිද්ධියේ දේශපාලනය කටයුතු වල යෙදිය නොහැකි බව පෙන්වා දුන්නේය.

එබැවින් මෙය මැතිවරණ නීතිය අමු අමුවේම උල්ලංඝණය කිරීමක් බවත්,  ගෝඨාභය රාජපක්ෂ මහතා  මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් මන්ත්‍රීවරයා පැවසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව,  නීතිඥයෙකුද වන ගම්මන්පිල මහතා ද  රටේ නීතිය කඩමින් සිදුකර ඇත්තේ මැතිවරණ දූෂණයක් බව සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More News