Sunday, February 16, 2014

Written on

බෙලිඅත්තේදී ෆොන්සේකාට තර්ජන

බෙලිඅත්ත, ගැටමාන්නේදී 15වැනිදා සවස පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් සන්ධානයේ අවිගත් මැර පිරිසකගේ තර්ජන නිසා නවතා දැමූ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

පෞද්ගලික ඉඩමක මෙම රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබූ අතර ඒ සදහා තම ආධාරකරුවන් වේදිකාව සකසමින් සිටියදී ටී56 අවි රැගත් පිරිසක් පැමිණ වේදිකාව ගිනි තබන බවටත්, වෙඩි තබන බවටත් තර්ජනය කොට එලවා දමා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. 


තමන් මේ පිළිබදව මැතිවරණ කටයුතු භාර නි.පොලිස්පති නවරත්න මහතාට සහ දකුණු පළාත භාර නි.පොලිස්පතිවරයාට දැනුම් දුන් විට, රැස්වීම පැවැත්වීමට අවසර දිය නොහැකි වුවද එම ස්ථානයට රැස්ව සිටින තම ආධාරකරුවන් හමුවීමට ආරක්ෂාව සැලසිය හැකියැයි ඔවුන් පැවසු බවද ඔහු කියා සිටියේය.

තමන් එම ස්ථානයට පැමිණෙන විට පොලිස් නිලධාරී 6-7දෙනෙක් සිටි අතර, අංක තහඩු නොමැති වාහනවලින් පැමිණි මැරයින් පොලිස් නිලධාරීන්ද පෙරළාගෙන තම පිරිස දෙසට කඩා වැදුණු බවද එම තත්වය පාලනය කිරීමට උත්සාහ දැරෑ පොලිස් නිලධාරීන්ටද ඔවුන් පහරදුන් බවද ඔහු පැවසුවේය.


මෙසේ පැමිණියේ සන්ධානයේ මැරයින් බව ඔහු ප්‍රකාශ කළේය.


මෙය කිසිසේම සාධාරණ මැතිවරණයක් නොවන බව, සාමය අගයන ජනතාවටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් කියා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

More News