Friday, February 14, 2014

Written on

දෙමාපියන් වැරදි බවට දයාසිරි තීන්දුව දෙයි!

‘ෆේස්බුක්’ ආන්දෝලනයට හේතු වූ කුරුණෑගල පාසල් සිසුවියගේ දිවි නසාගැනීම පිළිබදව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (13) පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ පැවති විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් මහඇමතිවරයා මේබව ප්‍රකාශ කළේය.

" ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕන 

තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි. 

ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේක එක දවසක සිදුවීමක් නෙමේ. මෙතන විදුහල්පතිගෙත් දරුවාගේත් දෙදෙනාගේම වැරදි තියනවා. මේ සිදුවීම වෙච්ච පාසැල ළමයි හාරදහසක් විතර ඉගෙන ගන්න කීර්තිමත් පාසැලක්. එහෙම පාසැලකට කැළලක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම මේ ගැන මම පුළුල් පරීක්ෂණයක් කරනවා. ඒක ඉවර වුණාම වයඹ පළාතේ ඉදිරියේ දී මේ වගේ සිදුවීමක් නොවන තැනට තීන්දුවක් ගන්නවා. වැරදිකරුට දඬුවම් දෙන්න මම පැකිලෙන්නේ නෑ " යනුවෙන් මහ ඇමැතිවරයා පැවසීය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා වග කිව යුතු බවට චෝදනා කරමින්, ඒ පිළිබදව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා දැරියගේ දෙමාපියන් ඇතුළු පිරිසක් දින කිහිපයකට පෙර විදුහල ඉදිරිපිට උපවාසයක නිරත වූ අතර, ඒ ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවට මහ ඇමතිවරයා පොරොන්දු වීම නිසා එම උපවාසය අවසන් කෙරිණි.

More News