Tuesday, February 11, 2014

Written on

අයි. පී. එල් වලින් චෙන්නායි සුපර් කිංග්ස් ඉවතටද?

පසුගිය 2013 වසරේ පැවති ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියේදී ක්‍රිකට් කොන්දේසි උල්ලංඝණය කරමින් දූෂණ හා වංචාවල නිරත වූ බවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ගුරුනාත් මෙයිඅප්පන් වරදකරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට එම චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය වසරේ ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියේ තරග පාවාදීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විනිසුරු මුකුල් මුද්ගාල් කමිටු වාර්තාව මගිනි.

පිටු 170කින් සමන්විත එම කමිටු වාර්තාව මගින් හෙළි කර ඇත්තේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. සිරිනිවාසන්ගේ බෑණා වන ගුරුනාත් මෙයිඅප්පන් තරගාවලියේ තරග සම්බන්ධයෙන් ඔට්ටු තබා ඇති බවය.

ඊට අමතරව තරග පිළිබඳ රහස්‍ය තොරතුරු හෙළි කර ඇති බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම වාර්තාව මගින් බොලිවුඩ් නිළි ෂිල්පා ෂෙට්ටිගේ සැමියා වන රාජ් කුන්ද්‍රා (රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු) ද තරග සම්බන්ධයෙන් ඔට්ටු තබා ඇති බවට චෝදනා කර තිබේ.

එම කමිටු වාර්තාව ඊයේ (10) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයටද ඉදිරිපත් කර ඇති අතර එය ලබන මාර්තු 7 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත බවද පැවසේ.

එහි තීන්දුව මත චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අනාගතය සහ පැවැත්ම රැඳි තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

More News