Monday, January 6, 2014

Written on

සලාකා වජිරා ඇප මත නිදහස්

ටවුන්හෝල් බූරුපොළ නමින් පසුගියදා ප්‍රසිද්ධ වූ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ගාමිණි නෙත්තිකුමාර මහතාට අයත් සලාකා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය 'සලාකා ක්ලබ්' නැමති සූදු පොළ පවත්වාගෙන ගිය වජිරා නෙත්තිකුමාර මහත්මිය අද (06) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

ලබන 13  නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස විතිත්කිරියට නියෝග කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර මෙම සූදු පොළ පවත්වාගෙන ගියේ යැයි චෝදනා එල්ලවී ඇති ඇය මෝසමක් මගින් අද ඇප ඉල්ලා සිටියාය.



ඇය පවත්වාගෙන ගිය රුජිනෝ නම් කාඩ් ක්‍රීඩාව තහනම් ක්‍රීඩාවක් නොවන බවත්, එය නීතිවිරෝධී නොවන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කියා තිබේ.

මෙම සූදු පිටිය අවස්ථා ගණනාවකදීම පොලීසියේ විවිධ කණ්ඩායම් විසින් වැටලීමට ලක් කළ අතර පළමු වරට මෙම සූදු මධ්‍යස්ථානය වැටලූ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 23 දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබිණ.

සූදු පොළ පවත්වාගෙන යන්නේ සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් බවත් එවකට ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ලක්ෂමන් හුලුගල්ල මහතා ඇය සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන නිසා මෙම පොලිස් නිලධාරීන් මාරු කිරීමට සම්බන්ධ බවත් චෝදනා එල්ලවිය.

More News