Saturday, January 4, 2014

Written on

ගොවීන් ලක්ෂ දහයකට විශ්‍රාම වැටුප නෑ

අමුඩයෙන් සැරසුන ගොවීහු පසුගිය
දෙසැම්බරයේ කොළඹදී උද්ඝෝෂණ
කල හැටි 
ගොවි විශ්‍රාම වැටුප ගෙවීමේ වයස අවුරුදු හැට තුන දක්වා ඉහල දැමීම මගින් ශ්‍රී ලංකාවේ ගොවීන් ලක්ෂ දහයකට ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වන බව ගොවි සංවිධානයක් පවසයි.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ඒ බව කියා සිටියේ, ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ වයස් සීමාව ඉහල දැමීමට රජය ගෙන තිබෙන තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා සිටිමින් ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය සමඟ අදහස් දක්වමින්.

වසර දෙකකට වැඩි කාලයක් නවතා දමා තිබූ ගොවි විශ්‍රාම වැටුප යලිත් ගෙවීම පිණිස මේ වසරේ වෙන් කොට තිබෙන ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය.

'හත් වැනි මාසේ වැටුප් නෑ'

අමුඩයෙන් සැරසුන ගොවීහු පසුගිය දෙසැම්බරයේ කොළඹදී උද්ඝෝෂණය කළහ
"ගොවීන් 129,000 කට වැටුප් ගෙවන්න මාසෙකට රුපියල් දාසය කෝටි දොළොස් ලක්ෂයක් වැය වෙනවා. ඒත් අය වැයෙන් ආණ්ඩුව වෙන් කරලා තියෙන්නේ කෝටි සීයයි. ඒ කියන්නේ හත් වැනි මාසෙට පඩි ගෙවන්න සල්ලි නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මෙය එළැඹෙන පළාත් සභා මැතිවරණ අවසන් වන තුරු ගොවියන් රැවටීමට ආණ්ඩුව කරන උපක්‍රමයක් ලෙස දක්නට ලැබෙන බවද ගොවි ජන සම්මේලනය පවසයි.

තමන් ගොවි විශ්‍රාම වැටුපට දායක වන්නේ දහදිය මහන්සියෙන් අමාරුවෙන් උපයා ගන්නා මුදල් බව පවසන එම අවස්ථාවට එක්ව සිටි ගොවීහු, තමන්ට උරුම විශ්‍රාම වැටුප ලබා ගන්නා කාලය කප්පාදු කිරීමේ ක්‍රියාදාමය නවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ගොවි සම්මේලනයේ පැමිණිල්ල භාර ගෙන විමර්ශන අංශයට යොමු කළ බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.

More News