Friday, January 17, 2014

Written on

සිසිල් බීම විෂවී 15ක් රෝහලේ

සිසිල් බීම විෂ වීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකු ඇතුළු 14 දෙනෙකු ගල්මුරුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ. 

ඊයේ (16) සවස මෙම පිරිස රෝගී තතත්වයට පත්ව ඇති බවත්,රෝහල් ගතකළ අය අතර සිටි දඹරැල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු 05 දෙනෙකු හලාවත මහා රෝහලට මාරු කර යවා ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි. 

සෙසු පිරිස ගල්මුරුව ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. රෝගී තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත්තේ මාදම්පේ - ගල්මුරුව,උඩලවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවේ පිරිසකි.

මෙම විහාරස්ථානයේ ඉකුත් 15 වැනිදා සවස අට පිරිකර 4000 ක් පුජා කිරීමේ ගිරි භණ්ඩ පිංකමක් පැවැත්වුණි. 

එම පිංකම අවසානයේදී 15වැනිදා දවස පුරාම විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවේ පිරිස විහාරස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී තිබේ.

සියල්ල අවසානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස සිසිල් බීම පානය කර ඇති බවත්,ඉන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයෙන් ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිස රෝහල් ගත කර ඇති බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

More News