Monday, December 9, 2013

Written on

මැන්ඩෙලා වෙනුවෙන් දින දෙකක ශෝක කාලයක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද
කොළඹදී ශෝක ප්‍රකාශ සටහන් කළ පිරිස අතර විය
අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කොට තිබේ.

ඒ අනුව ලබන අඟහරුවාදා සහ බදාදා දින දෙකේ සියලු ජාතික ධජ අඩ කුඹු කොට තබන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ.


මේ අතර වර්ණභේදවාදී සටනේ නායකයා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය ශෝක සටහන් පොතක් විවෘත කළ අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මුලින්ම ශෝක ප්‍රකාශ සටහන් කළහ.


අඟහරුවාදා පැවැත්වීමට නියමිත නෙල්සන් මැන්ඩෙලාගේ ජාතික සමරු මෙහෙයට ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගි වන බව ශ්‍රී ලංකා බලධාරීන් නිවේදනය කොට තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ් බුෂ් සහ බිල් ක්ලින්ටන් ඇතුළු ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් සහ හිටපු රාජ්‍ය නායකයන් සියයකට වැඩි පිරිසක්ද සමරු මෙහෙයට සහභාගි වන බව දකුණු අප්‍රිකාවේ බලධාරීහු පවසති.

More News