Saturday, November 23, 2013

Written on

උතුරෙන් හමුදාව අඩු කරන්න - වැන්දඹු කාන්තාවෝ

උතුරේ රඳවා සිටින හමුදා භට සංඛ්‍යාව අඩු කොට, සිය ආරක්ෂාව සහතික කොට, කාන්තාවන්ට රැකියා පුහුණුවද ලබා දී සැමියන් අහිමි පවුල් රක්ෂා කරන කාන්තාවන්ට දිරිය සපයන මෙන් යුද්ධයෙන් පීඩා විඳි කාන්තාවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

'ගෘහ මූලික කාන්තාවන්ගේ ඉල්ලීම් සහ ගැටළු' මැයෙන් මඩකලපුවේ පැවැත්වුණු යුද ගැටුම් පැවති වැන්දඹු කාන්තාවන්ගේ සමුලුවකදීයි එම ඉල්ලීම් ඉදිරිපත් කෙරුණේ.

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් පැමිණි වැන්දඹු කාන්තාවෝ විශාල පිරිසක් ශාන්ති සචිතානන්දන්ගේ ප්‍රධානත්වයෙන් යුත් 'විලුදු' සංවිධානයේ මෙහෙය වීමෙන් පැවැත්වුණු සමුළුවට සහභාගි වී සිටියහ.

උතුරේ මිලිටරිකරණය හේතුවෙන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව බියපත්ව සිටින බව පවසන කාන්තාවෝ, කාන්තාවන්ගේ බිය වැඩි කිරීමට දායක වනු වෙනුවට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන මෙන් පොලිසියෙන්ද ඉල්ලීමක් කරයි.

උතුරේ කාන්තාවන්ගේ දෛනික වැටුප පුරුෂයන්ට හා සාපේක්ෂව අඩක් පමණ වන බව පවසන සමුළු ප්‍රකාශනය, මේ තත්වයට විසඳුම් වශයෙන් කාන්තාවන්ට නිසි රැකියා පුහුණුවක් ලබා දීමේ විශේෂ ව්‍යාපෘති දියත් කරන මෙන් ආණ්ඩුවෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටියි.

යුද්ධය හේතුවෙන් ඉඩම් ඔප්පු ඇතුළු බොහෝ වැදගත් ලිපි ලේඛන අහිමිවීම නිසා නිවාස නැවත ඉදි කිරීම පිණිස හදිසි සහනාධාර ලබා ගැනීම ඇතුළු බොහෝ දේ ඉතා දුෂ්කර වී තිබෙන බවද සමුළු ප්‍රකාශනය පෙන්වා දෙයි.

එම ලිපි ලේඛන නැවත ලබා ගැනීම පිණිස රජයේ විශේෂ අවධානය යොමු කිරීම යුද්ධයෙන් සැමියන් අහිමි වූ කාන්තාවන්ගේ තවත් ඉල්ලීමක්.

යුද්ධය හේතුවෙන් යුද ගැටුම් පැවති කලාපයේ බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ වරම අහිමි වූ බව පෙන්වා දෙන සමුළුව, දුප්පත්කමේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විටත් බොහෝ දරුවන් පාසල් හැර යමින් සිටින බවද පවසයි.

මේ තත්වය යටතේ දිළිඳු දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන දීමනාවක් ලබා දෙන ලෙස සමුළුව රජයට යෝජනා කරයි.

යුද්ධයේදී අතුරුදහන් වූ සිය සැමියන් ඇතුළු ඥාතීන්ට අත් වූ ඉරණම හෙළි කරන ලෙසත්, මියගිය සහ අතුරුදහන් වූ ඥාතීන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසත් යුද්ධයෙන් පීඩා විඳි කාන්තාවෝ වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.






















Images by BBC SL

More News