Sunday, November 17, 2013

Written on

නේටෝ සංවිධානය දැවැන්ත මූලස්ථානයක් ගොඩනගයි

උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය හෙවත් නේටෝ සංවිධානය බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී දැවැන්ත මූලස්ථානයක් ගොඩනගමින් ඇතැයි වාර්තා වේ.  වානේ සහ වීදුරු වලින් නිෂ්පාදනය කරන මෙහි ඉදිරිපස දොරටුව අඩි 105ක් උසින් යුතු වන අතර මහල් 8කින් යුක්තය.

2016 සිට සාමාජික රටවල් 28ක් නියෝජනය කරන 4000ක පමණ කාර්යමණ්ඩලයක් මෙහි සේවයේ නියුක්ත වනු ඇත.

කෙසේවෙතත් ආර්ථික අර්බුද මධ්‍යයේ රාජ්‍යයන් සිය ආරක්ෂක වියදම් කප්පාදු කරමින් ඇති අවස්ථාවකදී මෙවැනි ඉදිකිරීමක් කෙතරම් අවශ්‍යදැයි විවේචනයට ලක්වී තිබේ.

මේ සඳහා අවශ්‍ය වෙඩි නොවදින වීදුරු ප‍්‍රමාණය පාපන්දු පිටි 10ක් ආවරණය කළ හැකි තරම් වන අතර බ‍්‍රසල්ස්හි උපායමාර්ගික විශේෂඥයකු වන ඩැනියෙල් කහෝන් පවසන්නේ මෙය අවාසනාවන්ත තත්වයක් බවයි.

එසේ වුවද නැගෙන විවේචන පසක ලන නේටෝ බලධාරීන් දක්වන්නේ 1967දී ඇරඹි වත්මන් මූලස්ථාන ගොඩනැගිල්ල දශකයක කාලයක් සඳහා පමණක් ගොඩනැගූ බවයි.

නේටෝ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මැතිව් ක්ලිමොව් පවසා ඇත්තේ නේටෝ සංවිධානය 21වන සියවසට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට මෙය අත්‍යවශ්‍ය පියවරයක් බවයි.

එවකට සෝවියට් දේශයේ බලය නැගීමට ප‍්‍රතිචාරයක් ලෙස 1949දී ගොඩනැගුණු නේටෝ සංවිධානය සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුවද දිගටම ක‍්‍රියාත්මක වේ.

More News