Saturday, November 9, 2013

Written on

ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න බ්‍රිතාන්‍යයට බෑ - කෙහෙළිය

ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් බ්‍රිතාන්‍යයට හෝ වෙනත් කිසිදු රටකට නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව අවධාරණය කරයි.

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සිය ශ්‍රී ලංකා සංචාරයේදී අවධාරණය කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කළ ප්‍රකාශය පිළිබඳව ගොසිප්9 කළ විමසීමකදී.


"එහෙම බලපෑම් කිරීම්වලට යටත් වෙන්න මම හිතන්නේ නෑ රටක් හැටියට අපි සූදානම් කියල," යනුවෙන් ඔහු කියා සිටියේය.

ස්වෛරී, නිදහස් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට එසේ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා සැබවින්ම ප්‍රකාශ කොට තිබෙන්නේ දැයි තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සාකච්ඡාවේදී එම ප්‍රතිඥාව දුන් අගමැතිවරයා, කෙසේ වුවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් පමණක් යයි සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.


එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ න්‍යාය පත්‍රයෙන් බැහැරව පෞද්ගලික දේවල් සාකච්ඡා කිරීමේ කිසිදු අරමුණක් නැති බවද රඹුක්වැල්ල අමාත්‍යවරයා ගොසිප්9 වෙත පැවසීය.

More News